වමේ නායකයෙක් සදහටම මිය යයි. තිස්ස විතාරණට සුබ ගමන්..!

මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ හිටපු අමාත්‍ය සහ ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ අවසන් කටයුතු අද (16) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව ඇත.

පසුගිය 13 වනදා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අතර, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් එහි පැමිණ අවසන් ගෞරව දක්වනු ලැබූහ.

ඊයේ (15) රාත්‍රියේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ, මෙරට වාමාංශික මතවාදය තහවුරු කිරීමටත්, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මහාචාර්යවරයා කළ මෙහෙය සදාකාලිකව අනුස්මරණය කළ යුතු බවයි. රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 92 වන වියේ පසුවිය.

මහාචාර්ය තිස්ස විතාරණ යනු හුදු දේශපාලනඥයෙකු පමණක් නොව, වෛරස් විද්‍යා විශේෂඥයෙකු ලෙස ද ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ අයෙකි. ඔහුගේ දේශපාලන ගමන්මග ප්‍රධාන අවධි කිහිපයකින් සමන්විත වේ. ඔහු දේශපාලනයට අවතීර්ණ වූයේ පවුල් පසුබිමෙන්ම ලත් වාමාංශික ආභාෂයෙනි. ලංකා සමසමාජ පක්ෂයේ නිර්මාතෘවරයෙකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා, තිස්ස විතාරණගේ මවගේ සහෝදරයා නොඑසේනම් මොහුගේ මාමා විය. 1974 දී නිල වශයෙන් ලංකා සමසමාජ පක්ෂයට බැඳුණු ඔහු, වෛද්‍ය වෘත්තියේ නිරත වන අතරතුර රහසිගතව දේශපාලන කටයුතු වල නිරත විය. පසුකාලීනව ඔහු පක්ෂයේ නායකත්වය දක්වා ඉහළට පැමිණියේය.

2004 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසි ඔහු, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස පත් විය. ශ්‍රී ලංකාව තුළ Nanotechnology තාක්ෂණය හඳුන්වා දීමට පුරෝගාමී වූයේ ඔහුය. SLINTEC (ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය) සහ විදාතා ව්‍යාපෘතිය හරහා ග්‍රාමීය මට්ටමින් තාක්ෂණය ප්‍රචලිත කිරීමට ඔහු විශාල මෙහෙයක් ඉටු කර තිබේ.

ඔහුගේ දේශපාලන ජීවිතයේ වඩාත්ම සටන්කාමී සහ මතභේදාත්මක අවස්ථාව වන්නේ 2006 දී සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ (APRC) සභාපතිත්වය දැරීමයි. ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් ලෙස ‘බලය බෙදා හැරීම’ (Devolution of Power) වෙනුවෙන් ඔහු දැඩිව පෙනී සිටියේය. දකුණේ අන්තවාදී කණ්ඩායම්වල දැඩි විවේචන සහ පීඩනය හමුවේ වුවද, වාමාංශික මූලධර්ම මත පිහිටා ඔහු එම වාර්තාව සකස් කළ බව පැවසේ.

2019-2020 කාලයේ ඔහු උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සහ විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති බව පැවසේ.

මහාචාර්ය විතාරණ නිරන්තරයෙන්ම අධිරාජ්‍යවාදයට සහ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව හඬ නැගූ අයෙකි. බටහිර බලපෑම්වලට එරෙහිව මෙරට ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු වාමාංශික බලවේග ඒකරාශී කිරීමට කටයුතු කළේය. විශේෂයෙන්ම, රටට අහිතකර යැයි ඔහු විශ්වාස කළ ජාත්‍යන්තර ගිවිසුම්වලට එරෙහිව ඔහු සිය පෑන සහ හඬ අවදි කළේය. නමුත් පසුව ඔහුගේ මෙම ප්‍රතිපත්ති උඩුයටිකුරු වනු දක්නට ලැබිණි.

රතු කොඩිය අතහැර නිල් කොඩියට

ලංකා සමසමාජ පක්ෂය 1964 සිටම සහ සිරිමාවෝ සමග සභාගයත් සමග අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ “ප්‍රතිගාමී ධනේශ්වර” එනම් එක්සත් ජාතික පක්ෂය වැනි බලවේග පරාජය කිරීම සඳහා “ප්‍රගතිශීලී ධනේශ්වර” බලවේග ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂ සමඟ එක්ව කටයුතු කිරීමයි. මහාචාර්ය විතාරණ ද මෙම මතයේ දැඩිව පිහිටා කටයුතු කළ බව පැවසිය හැකි අතර වාමාංශික පරමාර්ථ ඉටු කර ගැනීමට නම් ප්‍රධාන ධාරාවේ පක්ෂ සමඟ සන්ධානගත වීම අත්‍යවශ්‍ය බව ඔහු විශ්වාස කළ බව පැවසිය හැකිය.

මහාචාර්ය තිස්ස විතාරණ ධනේශ්වර දේශපාලන පක්ෂ සමඟ කටයුතු කිරීමේදී මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයක් වූයේ, වාමාංශික ප්‍රතිපත්ති සහ ධනේශ්වර ආණ්ඩුවල ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අතර පැවති ගැටුමයි. මේවා මෙලෙස සිදු වන බව ට්‍රොස්කිවාදියෙක් ලෙස ඔහු නොදැන සිටියා විය නොහැකිය. මක් නිසාද මෙය පන්තිමය වශයෙන්ම නෛසර්ගිකව ඇති වන අර්බුධයකි.

2004 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීම නොහොත් නොගැලපෙන විවාහයේදී තිස්ස විතාරණ ප්‍රමුඛ ලංකා සමසමාජ පක්ෂය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. එකල දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කළ පෞද්ගලීකරණ ප්‍රතිපත්තිවලට එරෙහිව “ජාතික සම්පත් සුරැකීමේ” සටන් පාඨය යටතේ ඔහු ධනේශ්වර පක්ෂ සමඟ අත්වැල් බැඳගත්තේය.

පරණ වමේ නායකයින් රතු කොඩිය අතහැර නිල් කොඩියට යට වී ඇති බවට එකල විපක්ෂයෙන් තිස්ස විතාරණලාට දැඩි විවේචන එල්ල විය. එහිදී විතාරණ කියා සිටියේ, “ධනේශ්වරය සමඟ එක්වන්නේ වාමාංශික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මිස නම වෙනස් කර ගැනීමට නොවන” බවයි. නමුත් එය කිසිසේත්ම ප්‍රායෝගික නොවන යථාර්ථයක් බව නොදැන සිදු කරන ලද ප්‍රකාශයක් නොවේ. මෙය වනාහි වම නොකියා වමක් බවට පත් කිරීමේ චෝදනාවෙන් ගැලවීමට සිදු කරන ලද ප්‍රකාශයක් බව පැවසිය හැකිය.

මෙලෙස එක් වීමෙන් කළ හැක්කේ ධනේශ්වර ඌරු කොටු තුළම දේශපාලනිකව ලැගීම හැර අන් යම් යමක් නොවන බව, මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඔහු සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති ලෙස ඉදිරිපත් කළ වාර්තාවට ආ විරෝධය තුළින් පෙනී යයි. එය එම ආණ්ඩුව තුළ සිටි අන්ත දක්ෂිණාංශික සහ ජාතිකවාදී බලවේගවල වූ ජාතික හෙළ උරුමය වැනි ඉබාගාතේ ඇවිදින පක්ෂවල දැඩි දෝෂදර්ශනයට ලක් විය. ජාතික හෙළ උරුමය සහ තිස්ස විතාරණලාට එකම ගොහොරුවේ ලැගීමට සිදු වීම දෛවෝපගතය. එහිදී ඔහු යෝජනා කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදා හැරීමකි. නමුත් තිස්ස විතාරණට සිය වාමාංශික ස්ථාවරය වෙනුවෙන් තනිව සටන් කිරීමට සිදු විය. අවසානයේ එම වාර්තාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව අපොහොසත් වීම එම ආණ්ඩුවේ පරාජයක් නොව තිස්ස විතාරණගේ දේශපාලනයේ පරාජයකි.

මහාචාර්ය තිස්ස විතාරණගේ දේශපාලන ජීවිතයේ අවසන් භාගය සනිටුහන් වූයේ ඔහු නියෝජනය කළ ධනේශ්වර දේශපාලන ව්‍යුහය සමඟ ඇති කරගත් දැඩි ප්‍රතිපත්තිමය ගැටුමකිනි. විශේෂයෙන්ම 2022 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ප්‍රමුඛ රජයේ පාලනය තුළ ඇති වූ ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ, වාමාංශික නායකයෙකු ලෙස ඔහු සිය ස්ථාවරය නිර්භයව ප්‍රකාශ කළේය. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාමට ගත් තීරණය සහ ඉන් පසුව එල්ල වූ කොන්දේසි හමුවේ පොදු ජනතාව දැඩි පීඩනයකට ලක්වන බව ඔහු දිගින් දිගටම පෙන්වා දුන් අතර, රජයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රවේශය සිය වාමාංශික දෘෂ්ටිවාදයට පටහැනි බව දැඩිව විවේචනය කළේය.

මෙම මතභේදය අවසානයේ දේශපාලන ක්‍රියාවක් බවට පත් කරමින්, ඔහු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂ නායකයින් සමඟ එක්ව ආණ්ඩුව තුළ “ස්වාධීන කණ්ඩායමක්” ලෙස කටයුතු කිරීමට තීරණය කළේය. අවසනදී ජාතික ගැටලුවේදී ඔහුට විරුද්ධ වූ කණ්ඩායම් සමගම ස්වාධින වීමට සිදු විය.

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය සහ ධනේශ්වර පක්ෂ අතර පැවති සන්ධාන දේශපාලනය දෙස ආපසු හැරී බැලීමේදී, එයින් වමට උරුම වූයේ ජයග්‍රහණවලට වඩා බරපතල දේශපාලන පාඩම් මාලාවකි. මෙම සන්ධානගත වීම් තුළ සිදු වූ ප්‍රධානතම හානිය වූයේ වාමාංශික පක්ෂවල ස්වාධීන අනන්‍යතාවය මහා පරිමාණ ධනේශ්වර පක්ෂ තුළ දියවී යාමයි. මහාචාර්ය තිස්ස විතාරණ මහතා සිය මුළු ජීවිත කාලයම කැප කළ ලංකා සමසමාජ පක්ෂය පවා කාලයත් සමඟ ප්‍රධාන පක්ෂවල කුඩා හවුල්කරුවෙකු බවට පත් වූ අතර, මේ හරහා වමේ සැබෑ දෘෂ්ටිවාදාත්මක හඬ යටපත් වී ගියේය. විශේෂයෙන්ම කම්කරු සහ පීඩිත පන්තිය නියෝජනය කළ වම, ධනේශ්වර ආණ්ඩුවල අමාත්‍ය ධුර දරමින් එම රජයන් ගන්නා ජනතා විරෝධී තීරණවලට හවුල් වීම හේතුවෙන් ඔවුන්ට තිබූ විශ්වාසනීය පදනම ක්‍රමයෙන් ගිලිහී යාම නොවැලැක්විය හැකි විය.

කෙසේ වුවද තිස්ස විතාරණට සුබ ගමන්…!

Author

2 Comments

  • මියගියාම, මිය යන්නේ සදහටම තමයි, වමේද, දකුනේද කියලා නෑ….මැරැනොත් ,මැරැනා….

  • තිස්ස විතාරන යනු තම ප්‍රතිපත්ති සියල්ල පාහේ පාවා දුන් නින්දිත ද්‍රෝහියෙකි. මරනින් පසු වුවද මේ ජඩයාගේ කීමට ඇති හොඳක් නැත.

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading