හිටපු අධිකරණ සහ විදේශ කටයුතු අමාත්‍යවරයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු ද වන එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් ‘සටහන්’ සහ ‘Whatnews.lk’ මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇති අතර, ඊට සමගාමීව අභියාචනාධිකරණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් වෙත ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමේ බරපතළ සිදුවීමක් වාර්තා වේ.
පසුගිය ජූනි 10 වෙනිදා ‘සටහන් රේඩියෝ’ වැඩසටහන ඔස්සේ මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් සහ තරිඳු උඩුවරගෙදර විසින් සාකච්ඡාවක් ගෙන එන ලදී. එහි මූලික අරමුණ වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට එවකට බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ දායක වූයේ කෙසේද යන්න පැහැදිලි කිරීමයි.
එම සිදුවීම් මාලාවේ ඉතිහාසය ගෙනහැර දක්වමින්, 2014 වසරේ දර්ගා නගරයේ සිදුවීමෙන් පසුව පැවති සාකච්ඡාවක් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. එය මීට පෙරද මාධ්‍ය හරහා සාකච්ඡාවට ලක් කරන ලද සිදුවීමකි.
අපට ලැබුණු විශ්වාසනීය මූලාශ්‍ර මත පදනම්ව, එම අවස්ථාවට අලි සබ්රි මහතාත් සහභාගී වී සිටි බවත්, එහිදී ඔහු ආවේගශීලීව හැසිරෙමින් හිජාස් හිස්බුල්ලා මහතාට බැණ වැදී, “Get Out” යැයි පවසමින් එතැනින් පිටව යන ලෙස බල කළ බවත් අප ප්‍රකාශ කළෙමු.
මෙහිදී එක් කරුණක් ඉතා පැහැදිලිව කිව යුතුය. අලි සබ්රි මහතා හිජාස්ට ‘අන්තවාදියා’ යනුවෙන් කී බවක් අප එහිදී කියා නැත. අන්තවාදියා යනුවෙන් කීවේ සුරේෂ් සලේය. අලි සබ්රි මහතා බැණවැදුණු බව අප කීවත්, ඔහු කියූ වචනයක් හැටියට අප උපුටා දැක්වුවේ ‘ගෙට් අවුට්‘ යන කොටස පමණි. එමෙන්ම, හිජාස් හිස්බුල්ලාව අත්අඩංගුවට ගැනීමට අලි සබ්රි මහතා කුමන්ත්‍රණය කළ බව, පෞද්ගලික පළිගැනීමක් කළ බව හෝ හිජාස් අන්තවාදියෙකු බව අලි සබ්‍රි ප්‍රකාශ කළ බවක් අප සදහන් කර නැත. දැනුදු එවැනි චෝදනාවක් කිරීමට අප සතුව කිසිදු සාක්ෂියක් නැත. අපගේ වාර්තාවේ ඉලක්කය වූයේ ඔහු නොවේ. අපගේ වාර්තාව තුළ ඔහු එහි සිටි බව කියා ඇත.
අලි සබ්රි මහතාගේ එන්තරවාසිය සහ ‘පිළිතුරු දීමේ අයිතිය’
මෙම වැඩසටහනෙන් පසුව, 2026 ජූනි 15 වන දින, අලි සබ්රි මහතාගේ නීතිඥවරයා වන එම්. කේ. නලින් මාරියෝ අල්විස් මහතා මාර්ගයෙන් අප වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.
අප විසින් සිදුකර ඇති මුල් ප්‍රකාශය අප මූලාශ්‍ර මත පදනම්ව කර ඇත. එම නිසා අප විසින් එම ප්‍රකාශය ඉල්ලා අස් කරගැනීමට බලාපොරොත්තු නොවන නමුත්, අලි සබ්රි මහතා එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් පිළිතුරු දෙන නිසා, මාධ්‍ය ආචාරධර්මවලට අනුව එය ‘පිළිතුරු දීමට ඇති අයිතිය’ (Right of Reply) යටතේ ප්‍රසිද්ධ කිරීමට අපි බැඳී සිටින්නෙමු. ඒ අනුව මුල් වාර්තාව පළ කළ යූටියුබ් නාළිකාවේම අප පිළිතුරත් සමග පැහැදිලි කිරීමකක් සිදු කළෙයු.
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙම එන්තරවාසිය මගින් පහත සඳහන් ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බව අපි ප්‍රසිද්ධ කරමු:
- නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා “අන්තවාදියෙකු” ලෙස හැඳින්වූ හෝ එලෙස හුවා දැක්වූ සාකච්ඡාවකට සහභාගී වීම.
- අනෙකුත් පිරිස සමග එක්ව හිජාස් හිස්බුල්ලා මහතාට වාචිකව පහර දීම, තර්ජනය කිරීම හෝ බැණ වැදීම.
- හිජාස් හිස්බුල්ලා මහතාට කෑගැසීම.
- ඔහුව අන්තවාදියෙකු ලෙස හැඳින්වීම.
- ඔහුට එම සාකච්ඡාවෙන් ඉවත් වන ලෙස උපදෙස් දීම හෝ “Get Out” පවසමින් ඔහුව නිහඬ කිරීමට උත්සාහ කිරීම.
- ඔහු අන්තවාදියෙකු යන පදනම මත ඔහුට එරෙහිව සිදු කළ හැසිරීම්වලට සම්බන්ධ වීම හෝ ඊට සහාය දැක්වීම.
- ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සහ ජනාධිපති නීතිඥවරයෙකුගෙන් බලාපොරොත්තු වන වෘත්තීය ප්‍රමිතීන්ට පටහැනි අයුරින් හැසිරීම.
එමෙන්ම, මෙම එන්තරවාසියෙන් ඔහු අපෙන් පහත ඉල්ලීම් 6ක් කර තිබේ:
- අදාළ චෝදනා ප්‍රකාශ කිරීම, නැවත කීම හෝ බෙදා හැරීම වහාම නතර කිරීම.
- අපගේ පාලනය යටතේ පවතින සියලුම වේදිකාවලින් අදාළ ද්‍රව්‍ය ඉවත් කිරීම.
- දින හතක් ඇතුළත සම්පූර්ණ, කොන්දේසි විරහිත සමාව ගැනීමක් සහ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමක් ප්‍රසිද්ධ කිරීම.
- අනාගතයේදී එවැනි චෝදනා කිරීමෙන් වළකින බවට ලිඛිත පොරොන්දුවක් ලබා දීම.
- මෙම කාරණය විසඳෙන තෙක් සියලුම මූලාශ්‍ර සහ පටිගත කිරීම් ආරක්ෂා කර තබා ගැනීම.
- ඔහුගේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක (රු. 1,000,000,000/-) මුදලක් වන්දි ලෙස ගෙවීම.
ෆසීර්ට තර්ජනය කිරීම
මෙම එන්තරවාසියට අප නීතිමය වශයෙන් මුහුණ දීමට සූදානම් වන අතරතුර, අතිශය බරපතළ සහ පිළිකුල් සහගත සිදුවීමක් පසුගිය ජූනි 17 වන දින අභියාචනාධිකරණ පරිශ්‍රය තුළදී සිදුවිය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කළ රිට් අයිතිවාසිකම් පෙත්සම වාර්තාකරණය සදහා අභියාචනාධිකරණයට ගොස් සිටි මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් වෙත පැමිණි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ඔහුට ඇඟිල්ල දිගු කරමින් තර්ජනය කර තිබේ. අභියාචනාධිකරණයේ 301 කාමරය ඉදිරිපිටදී එලෙස හැසිරුණු ඔහු කෝපයෙන් යුතුව, “උඹ ෆසීර් නේද? අපි උසාවියේදී හම්බෙමු. උඹ කිව්ව දේට සාක්ෂි තියෙනවද? සල්ලි ලෑස්ති කරගනින්” යැයි පවසා ඇති අතර, ඉංග්‍රීසි භාෂාවෙන් අසභ්‍ය වචනයක්ද පාවිච්චි කරමින් ප්‍රසිද්ධියේ බැණ වැදී ඇත.
අලි සබ්රි මහතා යනු හිටපු විදේශ ඇමතිවරයෙකි; හිටපු අධිකරණ ඇමතිවරයෙකි. එමෙන්ම ඔහු නීතිඥ සංගමයේ ප්‍රබලයෙකු මෙන්ම අතිශය බලගතු ජනාධිපති නීතිඥවරයෙකි. මාධ්‍යවේදීන් සිදු කරන්නේ හුදෙක් තොරතුරු වාර්තා කිරීම පමණි. මේ බල තුලනය ඇතුළේ මාධ්‍යවේදීන් ලෙස අප ඉතා දුර්වලය.
එවැනි දැවැන්ත බලයක් සහිත පුද්ගලයෙකු, අධිකරණ ශාලාවක් තුළදී වාර්තාකරුවකුට “සාක්ෂි තිබේද? සල්ලි ලෑස්ති කරගන්න” යනුවෙන් තර්ජනය කිරීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද? ඉන් කියැවෙන්නේ මාධ්‍යවේදීන්ට අධිකරණයේදී සාධාරණ ලෙස නඩුවකට මුහුණදීමට හැකියාවක් නැතැයි යන්න නොවේද? ජනාධිපති නීතිඥ බලය සහ මුදල් බලය පාවිච්චි කරමින් මාධ්‍යවේදීන්ව බියගැන්වීම දැඩිව ප්‍රශ්න සහගතය.
මෙම තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදී ෆසීර් විසින් ගරු අගවිනිසුරුතුමාට පැමිණිලි කර ඇති අතර, අදාළ ස්ථානයේ CCTV දර්ශන ආරක්ෂා කරන ලෙසද ඉල්ලා තිබේ.
මාධ්‍යවේදීන් ලෙස අපගේ වගකීම අප ඉටු කරන්නෙමු. බලයට, මුදලට හෝ තර්ජන හමුවේ ඇත්ත කතා කිරීම අප කිසිදා නවතන්නේ නැත. මාධ්‍යවේදීන්ගේ අයිතිය වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී සිටින්නෙමු.

ඔබ සතු සත්‍යය ප්‍රකාශ කිරීමේ අයිතියට කිසිවෙකුටත් බිය නොවන්න.. 👍👍👍