ඩිල්ෂාන් මධුශංකට වධදුන් බව තීන්දු වෙයි! ලක්ෂ තුනක් ගෙවන්න නියම වෙයි!

තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඩී. දිල්ෂාන් මධුසංකව අසාධාරණ අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබාගෙන කෲර ලෙස වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මාතර සහ මාලිම්බඩ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) සිය තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත. මෙම සිදුවීමෙන් අගතියට පත් තරුණයා වෙත රුපියල් ලක්ෂ 3ක වන්දියක් පෞද්ගලිකව ගෙවන ලෙස අදාළ නිලධාරීන්ට නියෝග කර තිබේ.

වින්දිත තරුණයාගේ මව වන ආර්. පතිරණගේ මහත්මිය කළ පැමිණිල්ලක් මත මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා විසින් තීන්දුව නිකුත් කරන ලදී.

මාතර පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් බුද්ධික විජේතුංග, මාලිම්බඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ මාලිම්බඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රා ජයවික්‍රම යන නිලධාරීන් තිදෙනා මෙමගින් වරදකරුවන් වී ඇත.

2020 අගෝස්තු 24 වන දින තෙලිජ්ජවිල ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක සිදුවූ රුපියල් විසිහතර ලක්ෂයකට අධික මුදල් සොරකමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වින්දිත තරුණයා මාලිම්බඩ පොලිසිය වෙත කැඳවා ඇත. එදින කිසිදු පොලිස් ලේඛනයක සටහන් නොතබා ඔහුව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව කොමිසමේ විමර්ශනවලදී තහවුරු විය.

වින්දිත තරුණයාට මාලිම්බඩ සහ මාතර යන පොලිස් ස්ථාන දෙක තුළදීම දැඩි ලෙස වධහිංසා පමුණුවා ඇත.

මාලිම්බඩ පොලිසියේදී, ස්ථානාධිපති ජයවික්‍රම සහ අපරාධ අංශයේ විජේසේකර යන නිලධාරීන් විසින් තරුණයාගේ දෑත් පිටුපසට කර මාංචු දමා අමානුෂික ලෙස පහර දී ඇත.

ඉන්පසු 2020 අගෝස්තු 25 වන දින රාත්‍රියේ ඔහුව මාතර පොලිසිය වෙත භාර දී ඇති අතර, එහිදීද ලේඛනගත කිරීමකින් තොරව රඳවාගෙන ඇත.

මාතර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විජේතුංග මහතා විසින් තරුණයා මේසයක් මත හාන්සි කරවා යටිපතුල් වලට සහ උරහිස් වලට පොලු වලින් පහර දී ඇත.

මෙම පහරදීම් හේතුවෙන් තරුණයාගේ පාදවල ඇඟිලිවල අස්ථි බිඳීම් සිදුවී ඇති අතර, තුවාල වසන් කිරීම සඳහා රෝහලට රැගෙන ගිය අවස්ථාවේ “තාප්පයකින් වැටුණු බව” පවසන ලෙස පොලිසිය විසින් ඔහුට තර්ජනය කර ඇත.

2020 අගෝස්තු 29 වන දින දක්වා නීතිවිරෝධීව රඳවාගෙන සිටි තරුණයා, එදින අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පොලිස් සටහන් යොදා පසුව ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබුණි.

විස්තීර්ණ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව, අදාළ නිලධාරීන් තිදෙනා විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1) සහ 13(2) යන ව්‍යවස්ථාවන් මඟින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව කොමිසම නිගමනය කළේය.

ඒ අනුව කොමිසම විසින් වග උත්තරකාර නිලධාරීන් වන පොලිස් පරීක්ෂක විජේතුංග, පොලිස් පරීක්ෂක විජේසේකර සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවික්‍රම යන තිදෙනා විසින් එක අයෙකු රුපියල් 100,000/- (ලක්ෂය) බැගින්, මුළු එකතුව රුපියල් ලක්ෂ 3ක මුදලක් වින්දිත දිල්ෂාන් මධුසංක මහතා වෙත ගෙවිය යුතු බව නියෝග කර ඇත. මෙම මුදල 2026 ජූලි 30 වන දිනට පෙර ගෙවා අවසන් කළ යුතුය.

මීට අමතරව මෙම නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

මෙම සිදුවීමට අදාළව අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍යාම් සමරවික්‍රම මහතා සිය වෘත්තීය රාජකාරිය නිසි පරිදි සිදුකර ඇත්ද යන්න ගැටලුසහගත බවද කොමිසම නිරීක්ෂණය කර ඇත. එසේම, වධහිංසා පනත යටතේ නීතිපතිවරයා විසින් දැනටමත් මෙම නිලධාරීන්ට එරෙහිව මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති අතර, මේ වන විට ඔවුන්ගේ වැඩ තහනම් කර ඇති බවද විශේෂ විමර්ශන ඒකකයේ වාර්තා මඟින් තහවුරු වී ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම අසාධාරණය දැනුවත්ව සිටියදීත් ඊට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන්ද කොමිසම සිය අප්‍රසාදය පළ කර තිබේ.

Author

Related Posts