මේ දිනවල ශ්‍රී ලංකාවේ දෙමාපියන්, ගුරුවරුන් සහ භික්ෂූන් රට අවුලමින් සිටින්නේ 6 වසරේ ඉංග්‍රීසි පෙළපොතට රිංගූ “buddy.net” නම් වෙබ් අඩවියක් මුල් කරගෙනය.
මෙය හුදෙක් රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා වූ තාක්ෂණික දෝෂයක් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණද, ඇතැම් දේශපාලන කණ්ඩායම් සහ ආගමික නායකයින් එය අර්ථකථනය කරමින් සිටින්නේ “සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරමින් ජාතිය වැනසීමට ගෙන ආ කුමන්ත්‍රණයක්” ලෙසය.
මෙම සිදුවීම දෙස බැලීමේදී, මීට වසර කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇති වූ මෙවැනිම, එහෙත් මීට වඩා දරුණු දේශපාලන රැල්ලක් සිහියට නැගේ.
එය නමින් “Critical Race Theory” (CRT) හෙවත් විචාරාත්මක වර්ගවාදී න්‍යායයි. ලංකාවේ ‘බඩී’ සිද්ධිය මෙන්ම, ඇමෙරිකාවේදී ද “අපේ දරුවන්ව විනාශ කරන්නට හදනවා” යන බියජනක සටන් පාඨය දේශපාලන බලය ලබා ගැනීමේ ප්‍රබලම ආයුධය බවට පත් විය.
දැන් මේ ආරම්භ වෙමින් තිබෙන්නේ එවැනි අන්ත දක්ෂිණාංශික දේශපාලන රැල්ලක්ද?
මොකක්ද මේ ඇමෙරිකානු CRT භීතිකාව?
Critical Race Theory යනු 1970 ගණන්වල ඇමෙරිකානු නීති විද්‍යාල තුළ බිහි වූ සංකීර්ණ ශාස්ත්‍රීය සංකල්පයකි. එහි සරල අදහස වූයේ “වර්ගවාදය යනු පුද්ගලික නරක පුරුද්දක් පමණක් නොව, එය නීති පද්ධතිය තුළම ඇති ව්‍යුහගත ගැටලුවක්” බවයි.
නමුත් 2020 වන විට, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකානු දක්ෂිනාංශික කණ්ඩායම් මෙම සංකල්පය හුදෙක් දේශපාලන බිල්ලෙක් බවට පත් කළහ.
ඔවුන් ඇමෙරිකානු මධ්‍යම පාන්තික සුදු ජාතික දෙමාපියන් බිය ගැන්වුවේ, පාසැල්වල මෙම ක්‍රිටිකල් රේස් තියරි උගන්වන බවත්, එමගින් ඇමෙරිකානු දරුවන්ගේ මොළ හෝදන බවත්ය.
“ඔබේ දරුවා පාසලට යන්නේ ඉගෙන ගන්නට නොව, තමන් සුදු ජාතිකයෙකු වීම ගැන ලැජ්ජා වීමටත් (White Guilt), ඇමෙරිකාවට වෛර කිරීමටත් පුහුණු වීමටයි. ලිබරල්වාදීන් ඔබේ දරුවන්ගේ මොළ සෝදමින් සිටියි.” යනුවෙන් ඔවුන් විශාල මතයක් සමාජගත කළේය.
එයට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම පොඩ්කාස්ට්ද පාවිච්චි කෙරිණි.
පාසල් ‘යුධ පිටියක්’ වූ හැටි
ලංකාවේ ‘බඩී’ සිද්ධිය නිසා අධ්‍යාපන බලධාරීන් ඉල්ලා අස්වූවා සේම, ඇමෙරිකාවේදී CRT විරෝධය නිසා පාසල් පද්ධතියම අර්බුදයකට ගියේය.
ලවුඩන් කවුන්ටි කලබල (Loudoun County Chaos): වර්ජිනියා ප්‍රාන්තයේ ලවුඩන් කවුන්ටි පාසල් මණ්ඩල රැස්වීම් ගුටි බැට හුවමාරු වන තැනට පත් විය. දෙමාපියන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට මරණ තර්ජන එල්ල කළහ. ඔවුන් විශ්වාස කළේ ගුරුවරුන් රහසිගතව තම දරුවන්ට ලිංගික කරුණු සහ මාක්ස්වාදය උගන්වන බවයි.
ගුරුවරුන්ට එරෙහි දඩයම: ඉතිහාස ගුරුවරුන් පන්තියේදී “වහල් සේවය” හෝ “වර්ගවාදය” යන වචන භාවිතා කිරීම පවා රැකියාව අහිමි වීමට හේතුවක් විය. ඇතැම් දෙමාපියන් තම දරුවන්ට පටිගත කිරීමේ උපකරණ ලබා දී ගුරුවරුන්ගේ “වැරදි” සෙවීමට ඔත්තුකරුවන් ලෙස යෙදවූහ. මෙය ගුරුවරුන් විශාල වශයෙන් රැකියාවෙන් ඉවත් වීමට හේතු විය.
පොත් තහනම (Book Bans): ඇමෙරිකාවේදී මාටින් ලූතර් කිං වැනි කළු ජාතික වීරයන්ගේ පොත් පවා පුස්තකාලවලින් ඉවත් කෙරිණි. ටෙනසි ප්‍රාන්තයේදී, යුදෙව් සංහාරය (Holocaust) ගැන ලියවුණු ලෝක ප්‍රකට ‘Maus’ කෘතිය පවා දරුවන්ට නුසුදුසු යැයි කියමින් තහනම් කළේය.
බියෙහි දේශපාලනය
මෙම භීතිය දේශපාලන වශයෙන් කොතරම් සාර්ථක වීද යත්, 2021 වර්ජිනියා ආණ්ඩුකාරවරණය ජයග්‍රහණය කිරීමට රිපබ්ලිකන් පක්ෂය පාවිච්චි කළ එකම තුරුම්පුව වූයේ “පාසල්වල CRT ඉගැන්වීම තහනම් කිරීමයි”. ඇත්ත වශයෙන්ම එම පාසල්වල CRT නමින් විෂයක් තිබුණේවත් නැත. නමුත් “දෙමාපිය අයිතිවාසිකම්” (Parental Rights) නමින් ගෙන ගිය ප්‍රචාරණය මැතිවරණ ජයග්‍රහණයට පාර කැපුවේය.
ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් මෙය තවත් ඉදිරියට ගෙන යමින් “Stop W.O.K.E. Act” නමින් නීතියක් ගෙන ආවේය. ඒ හරහා පාසල්වල සහ ආයතනවල විවිධත්වය හෝ සමාජ අසාධාරණය ගැන කතා කිරීම නීතියෙන් තහනම් විය. ඔහු එය හැඳින්වූයේ “වෝක් (Woke) සංකල්ප මියයන ස්ථානය” ලෙසයි.
මෙම වෝක් සංකල්පය තේමා කරගනිමින් දැවැන්ත ‘සංස්කෘතික යුද්ධයක්‘ ඇමෙරිකානු දේශපාලනය පුරා පැතිර ගියේය. අද දක්වාම එය දේශපාලන- සංස්කෘතික ගැටුමක් ලෙස ක්‍රියාකාරීව පවතී.
සැබෑ සිදුවීම් අමතක කිරීම
ඇමෙරිකානු දක්ෂිනාංශික සහ ගතානුගතික (Conservative) දේශපාලන කඳවුර විසින් ‘සංස්කෘතික යුද්ධය’ (Culture War) මෙවලමක් ලෙස භාවිතා කරමින්, රටේ පවතින සැබෑ ආර්ථික සහ සමාජීය අර්බුද යටපත් කළ ආකාරය ඉතා සියුම් සහ උපායමාර්ගික ක්‍රියාවලියකි. මෙය “ජනතාව නොමග යැවීමේ කලාවක්” ලෙස හැඳින්විය හැකිය.
ඔවුන් මෙම ක්‍රියාවලිය සිදු කළ ප්‍රධාන ආකාර 4ක් පහත පරිදි විස්තර කළ හැකිය:
ව්‍යුහගත ගැටලු “පුද්ගලික වරදක්” ලෙස හුවා දැක්වීම (Systemic vs. Individual)
ඇමෙරිකාවේ සැබෑ ප්‍රශ්නය වන්නේ ව්‍යුහගත වර්ගවාදයයි (Systemic Racism). එනම්, නිවාස ලබා දීම, බැංකු ණය ලබා දීම, සෞඛ්‍ය පහසුකම් සහ අධිකරණ පද්ධතිය තුළ සුදු ජාතිකයන් නොවන අයට අසාධාරණයක් සිදුවන නීතිමය සහ ආයතනික රාමුවක් පැවතීමයි.
CRT විරෝධය හරහා ඔවුන් කළේ මෙම “ව්‍යුහගත” ගැටලුව ගැන කතා කිරීම තහනම් කිරීමයි. ඔවුන් වර්ගවාදය අර්ථකථනය කළේ “යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට නරක ලෙස සැලකීම” ලෙස පමණි.
මේ නිසා “අපේ රටේ නීතිවල හෝ ක්‍රමයේ වරදක් නැහැ, වැරැද්ද තියෙන්නේ පුද්ගලයන්ගේ” යන මතය සමාජගත විය. එමගින් පොලිස් ප්‍රතිසංස්කරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ඇති විය යුතු සංවාදය යටපත් විය. යමෙක් “ක්‍රමය වැරදියි” කීවොත්, ඔහුට “ඇමෙරිකාවට වෛර කරන්නෙක්” යන ලේබලය ඇලවීය.
පන්ති අරගලය වෙනුවට සංස්කෘතික අරගලය
ඇමෙරිකාවේ දුප්පත් සුදු ජාතිකයන් සහ දුප්පත් කළු ජාතිකයන් යන දෙපිරිසම පොදු ආර්ථික ගැටලුවලින් පීඩා විඳිති (අඩු වැටුප්, සෞඛ්‍ය රක්ෂණ නොමැතිකම, රැකියා අහිමි වීම).
දක්ෂිනාංශික දේශපාලකයන් (විශේෂයෙන් ට්‍රම්ප්වාදීන්) දුප්පත් සුදු ජාතික ජනතාවට ඒත්තු ගැන්වූයේ ඔවුන්ගේ සතුරා “ධනපති පන්තිය” හෝ “සමාගම්” නොවන බවයි. ඒ වෙනුවට ඔවුන්ගේ සතුරා “ඔබේ දරුවාට පාසලේදී වෝක් (Woke) උගන්වන ලිබරල් ගුරුවරයා” හෝ “සංක්‍රමණිකයා” බව පෙන්වා දුන්නේය.
තමන්ට ආර්ථිකව පහර දෙන සමාගම්වලට බදු සහන දෙන දේශපාලකයන්ටම ඡන්දය දීමට මේ පීඩිත ජනතාව පෙළඹුණේ, එම දේශපාලකයන් “සංස්කෘතිය රකිනවා” යැයි සිතූ බැවිනි. සැබෑ බඩගින්න වෙනුවට ඔවුන්ට කතා කිරීමට “Dr. Seuss පොත් තහනම” හෝ “Mr. Potato Head ගේ ලිංගිකත්වය” වැනි මාතෘකා ලබා දුන්නේය.
බිය පදනම් කරගත් දේශපාලනය
මිනිසුන් බියට පත් වූ විට ඔවුන් තාර්කිකව සිතීම නතර කරයි.
“ලිබරල්වාදීන් ඔබේ දරුවන්ව ලිංගිකව ගොදුරු කරගන්න හදනවා” (Grooming) හෝ “ඔවුන් ඔබේ ආගම විනාශ කරන්න හදනවා” වැනි අන්තවාදී සටන් පාඨ හරහා දෙමාපියන් තුළ අනාරක්ෂිත බවක් ඇති කළේය.
දෙමාපියෙක් තමන්ගේ දරුවාගේ පාසලේ වැසිකිළිය පාවිච්චි කරන්නේ කවුද යන්න ගැන රණ්ඩු වන විට, එම ප්‍රාන්තයේම අධ්‍යාපන ප්‍රතිපාදන කපා හැරීම හෝ ගුරු හිඟය ගැන ප්‍රශ්න කිරීමට ඔවුන්ට සිහියක් නැත. බිය විසින් සැබෑ ප්‍රශ්න වසා දැමීය.
වින්දිතයා මාරු කිරීම
සැබෑ ලෝකයේදී අසාධාරණයට ලක්වන්නේ සුළු ජාතීන් සහ දුප්පතුන් වුවද, මෙම දේශපාලන ප්‍රවාහය විසින් “වින්දිතයා” (Victim) මාරු කළේය. වින්දිතයාට අමතරව වින්දිතභාවයත් මාරු කළේය.
ඔවුන් සමාජයට කීවේ “අද ඇමෙරිකාවේ වැඩිපුරම වෙනස්කම්වලට භාජනය වන්නේ සුදු ජාතික ක්‍රිස්තියානි පිරිමියා” බවයි. CRT ඉගැන්වීම සුදු ජාතිකයින්ට කරන අසාධාරණයක් ලෙස හුවා දැක්වීය. ජාතිභේදයකින් තොරව ඇමෙරිකානු මධ්‍යම පාන්තිකයා භුක්ති විදින සෞඛ්‍ය, අධ්‍යාපනය, රැකියා ස්ථාවරත්වය යනාදී බොහෝ දේ අහිමි වූ වින්දිතභාවය ඔවුන් යටපත් කළේය. ජනතාව තුළ ඒ වෙද්දී ධනවාදී ආර්ථික ක්‍රමය නිසා ඇති වූ ප්‍රශ්න ගැන කතාබහ යටපත් විය.
මෙය බහුතර ජනතාව තුළ ව්‍යාජ කෝපයක් (Manufactured Outrage) ඇති කළේය. “අපිට අපේ රට අහිමි වෙනවා” යන හැඟීම ඇති කරමින්, ඔවුන්ව සැබෑ සමාජ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීම වෙනුවට, එම අසාධාරණයන් පවත්වාගෙන යාමට (Status Quo) පෙළගැස්වීය.
මේවා පසුබස අතිශය බලවත්, ධනවත් පිරිස් සිටියේ ඔවුන් අසීමිත ලෙස උපයාගත් ධනය හමුවේ පීඩිත ජනතාව විදින අසාධාරණ දුක්ඛිත ජීවිතය හෙළිදරව් විය හැකි නිසාය.
ආර්ථිකයේ, ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ගැටලු ගැන කතා කරනවා වෙනුවට ජනතාව අනිසි බියකින් වසා දැමීමට ඔවුන් කටයුතු කළේ සැබෑ වින්දිතභාවය වෙනුවට ආරෝපිත වින්දිතභාවයක් ඉස්මතතු කරමිනි.
දැන් වෙන්නේ ඒකද?
ලෝකයේ වෙන රටවල අත්හදා බැලුණු දේශපාලන ප්‍රවණතා ලංකාවට ගෙන ඒම අලුත් දෙයක් නොවේ. ඇතැම් අවස්ථාවල වෙනත් රටවල ප්‍රචාරක ව්‍යාපෘති එහෙම්පිටින්ම ලංකාවට ගෙනැවිත් ඇත.
ලංකාවේ 2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල බරපතල ගැටලු තිබේ. සම්පත් හිඟය, ගුරුවරුන් පුහුණු නොකිරීම, විෂය මාලාවේ අවිධිමත් බව සහ දරුවන් යාන්ත්‍රික කිරීම වැනි සැබෑ ප්‍රශ්න සාකච්ඡා කළ යුතුව ඇත. නමුත් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් සහ ඇතැම් ආගමික මතධාරීන් තෝරාගෙන ඇත්තේ පහසුම සහ වඩාත්ම හැඟීම්බර මාතෘකාවයි. එනම් “සමලිංගික බිල්ලා” යි.
“බඩී” වෙබ් අඩවියේ සිදුවීම පැහැදිලිවම වගකීම් විරහිත නොසැලකිල්ලකි (Negligence). නමුත් එය “කුමන්ත්‍රණයක්” ලෙස අර්ථ දැක්වීම හරහා ඔවුන් උත්සාහ කරන්නේ:
රජය සදාචාර විරෝධී බව පෙන්වා ආගමික ඡන්ද පදනම (විශේෂයෙන් බෞද්ධ ඡන්ද) චලනය කිරීමටයි. එහිදී ඔවුන්ට දරුණුම බිල්ලෙකු ලෙස මවා පෙන්වීමට ‘තනිකඩ‘ ගැහැණියක් සිටී. ගැහැණියක් තනිකඩ නම් ඒ ගැහැණියගේ ලිංගික අනන්‍යතාව ගැන පවා කතා මැවිය හැක. ඒ සියල්ල සිදු කරමින්, සැබෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඇති ආර්ථික හා ව්‍යුහගත ගැටලු යටපත් කර, චිත්තවේගීය මාතෘකාවක් හරහා ජනතාව කුපිත කර තිබේ. ජනතාවගේ බිය ඇති කොට බලය ගැනීමටත්- ඒ අතරේ සමාජ අසමානත්වය, විෂමතාව, ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනය දිගටම පවත්වාගෙන යෑමටත් බලය අහිමි වූ හිටපු පාලකයන්ට හැකි වේ.ෙ
ඇමෙරිකානු අත්දැකීම අපට කියා දෙන්නේ එක් වැදගත් පාඩමකි. දේශපාලනඥයන් “දරුවන් බේරා ගැනීම” ගැන කෑගසන විට, බොහෝ විට ඔවුන් උත්සාහ කරන්නේ දරුවන් බේරා ගැනීමට නොව, දෙමාපියන්ගේ බිය භාවිතා කර තම ඡන්ද ගොඩ බේරා ගැනීමටයි.
ඇමෙරිකාවේ CRT විරෝධය නිසා අවසානයේ සිදුවූයේ දරුවන්ට ඉතිහාසය ඉගෙන ගැනීමට තිබූ අයිතිය අහිමි වීම සහ ගුරුවරුන් අසරණ වීමයි. ලංකාවේදී ද ‘බඩී’ සිද්ධිය මුල් කරගෙන සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම යක්ෂාරෝපණය කළහොත්, අපට අහිමි වන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ගැන කළ යුතු සැබෑ, බුද්ධිමත් සංවාදයයි.
එබැවින්, පෙළපොතක අත්වැරදීමක් දුටු විට එය නිවැරදි කරවා ගැනීම වෙනුවට, එය පසුපස ඇති “ජාත්‍යන්තර කුමන්ත්‍රණ” සෙවීමට යාමෙන් සිදුවන්නේ අප ද ඇමෙරිකානුවන් වැටුණු “සංස්කෘතික යුද්ධයේ” (Culture War) වළේම වැටීම පමණි.

Puduma athapasu weemak me oya kiyana widiyata !!! Lamainge adyapane ohoma athapasuweem wenna puluwanda bun? Nikan oi boru danna epa thamange wasiyata Kade yanna epa oi ledja nedda? Ammage Kiri beelanam lankawe ekek nam singhaya wage hitapalla nari wage wasiyata aberenne nodakin ubalage ammata hena wadinne sakkili hetta