කාදිනල් මැල්කම් රංජිත් හිමි පාස්කු ප්‍රහාරය එල්ල වූ දින උදය දිව්‍ය පූජාවකට සහභාගි නොවූයේ එදින එල්ල වන බෝම්බ ප්‍රහාරය පිළිබඳ කලින් දැන සිටි නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මකව සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශ බව කාදිනල් හිමිගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රභූ ආරක්ෂක අංශ කලින් දැනුවත් කර තිබූ බවට හා ඒ අනුව කාදිනල් හිමිගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් මාර්ගයෙන් කාදිනල් හිමි ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් ප්‍රකාශවල සඳහන් වන බවත්, එහෙත් කාදිනල් හිමිට රජයෙන් ආරක්ෂාව සැලසුවේ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බවත්, ඊට පෙර කාදිනල් හිමිට හෝ කොළඹ අගරදගුරු මැදුරට රජයෙන් ආරක්ෂාවක් සපයා නොතිබුණ බවත් එම නිවේදනයේ අවධාරණය කර තිබේ.
කාදිනල් හිමි පාස්කු ඉරුදිනට පෙර දින රාත්‍රියේ සිය ආසන දෙව් මැදුර වන කොළඹ කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරේදී මධ්‍යම රාත්‍රිිය ඉක්මවා පසුදින පාන්දර 2 පමණ වනතුරු දේව මෙහෙයට හා දිව්‍ය පූජාවට සහභාගි වූ බවද, පාස්කු ඉරුදින උදෑසන කාදිනල් හිමි කොළඹ අගරදගුරු නිවසේදී දිව්‍ය පූජාව පැවැත්වූ බවද එහි සඳහන් කර තිබේ.
එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මෙම අසත්‍ය ප්‍රචාර හා මඩ ගැසීම් සියල්ලේම අරමුණ වී ඇත්තේ පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගනිමින් සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිදුකරමින් පවතින විමර්ශනවලට බාධා කර ඒවා කඩාකප්පල් කිරීමේ අරමුණින් බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බවයි.
