සිංහරාජය, කන්නැලිය හා හිනිදුම කන්ද ඇතුළත් සංචාරක කලාපයක් ගැන ජනාධිපති කාර්ය සාධක බලකාය සාකච්ඡා කරයි

සිංහරාජය, කන්නැලිය,දෙදියගල, නාකියාදෙනිය යන වනාන්තර සහ හිනිදුම කඳු වැටිය කේන්ද්‍ර කරගත් විශේෂ සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සාකච්ඡා කර ඇත.

ඒ පිළිබඳ සාකච්ඡා කෙරී ඇත්තේ ගාල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් විශේෂ සංචාරක කලාපයක් පිහිටුවීම යටතේය.
එම සාකච්ඡාව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ජුනි 16 දින ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර එයට සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ, ජාජාබ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි, ජාජාබ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ටී කේ ජයසුන්දර, ජාජාබ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර, ජොන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

සමුද්‍රීය සංචාරක සහ මගී ප්‍රවාහන සේවා යටතේ Capital Marine and Civil Construction ආයතනය වසර 10 ක් තුළ අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සමුද්‍රීය සංචාරක කොරිඩෝව පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති අතර එහි පළමු අදියර යටතේ උතුරු පළාතේ යාපනය කේන්ද්‍ර කරගනිමින් මගී ප්‍රවාහන යාත්‍රා සේවා ආරම්භ කිරීමට හා පසුව එය කොළඹ සහ ගාල්ල දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය.

Author

Related Posts