ගෝඨාභයගේ ‘අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ’ පෙත්සම සලකා බැලීම හෙට…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට (18) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (17) නියෝග කර තිබේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෞද්ගලික හේතූන් මත මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කර ඇත.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ අද පෙරවරුවේ බැවින් වගඋත්තරකරුවන්ගෙන් මේ දක්වා උපදෙස් ලැබී නොමැති බවයි. එමෙන්ම නිසි උපදෙස් ලබාගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට කිසිදු ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවද ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ සභාපති විනිසුරුවරයා මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින නැවත කැඳවන ලෙස නියෝග කර තිබේ.

Author

Related Posts