වැඩමවා වදාළ ගරුතර සංඝ රත්නය ප්‍රමුඛ පූජක ප්‍රසාදීන් වහන්ස, ශෝකප්‍රාප්ත පවුලේ ඥාති හිත මිත්‍රවරුනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මැතිණියනි, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු මහාචාර්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මැතිතුමනි, සියලුම මැති ඇමතිවරුනි, ශ්‍රී ලංකා කළා මණ්ඩල සභාපතිත්වය ඇතුළු ගරු අනුමණ්ඩල සභිකයිනි, හිත මිත්‍ර කලාකරුවනි, සංගීත රුචි, කලා සහෘදයිනි,
ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයට දශක ගණනාවක් පුරා මහාර්ඝ සේවයක් කළ, ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිණී ලතා වල්පොළ මැතිණියගේ අවමංගල්‍යෙත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව පුරස්සරව සිදු කෙරෙන මේ අවස්ථාවේ, එතුමියගේ සංගීතමය දායකත්වය පිළිබඳව අදහස් කීපයක් ඔබ හා බෙදා ගන්නට මට ආරාධනා කිරීම පිළිබඳව සංවිධායක මඩුල්ලට මගේ ගෞරව ස්තුතිය පිරිනමන්නට මා පළමුව කැමතියි.
එහිලා, ලතා වල්පොල මැතිණියගේ කටහඬේ සුවිශේෂතාවන් හෝ, ඈ ගැයූ දහසකුත් එකක් ගීත පිළිබඳව හෝ, එම ගීතවල පදරචනා සහ පදරචකයන් පිළිබඳව හෝ, ඒ ගීත වල තනුව සංගීතය හෝ සංගීතඥයන් පිළිබඳව හෝ, ඈ රංගනයෙන් දායක වූ චිත්‍රපට පිළිබඳව හෝ, ඇගේ ජිවිත ඉතිහාසය පිළිබඳව හෝ අදහස් මා නොදක්වන්නේ, මේ වන විටත් ඒ පිළිබඳව කථිකාවන් සහ අදහස් දැක්වීම් සිය ගණනක් සමාජගත වී තිබෙන නිසයි. අනික එවන් සාම්ප්‍රදායික ප්‍රවේශයකින් සිදුවන්නේ කලාකරුවෙකුව, ඔහුගේ හෝ ඇයගේ සාර්වත්‍ර සමාජ භූමිකාවෙන් උගුළුවාලමින්, වියුක්ත අර්ථකතනයකට ලඝු කිරීමක් හැටියට බවයි මා විශ්වාස කරන්නේ.
එම නිසා මා කල්පනා කරන්නේ, ඈව ශ්‍රී ලාංකීය සමාජ, සංස්කෘතික ඉතිහාසමය උපස්ථරයක් මත පිහිටුවා, ඇගේ කලා මැදිහත්වීම නොහොත් ඇගේ සංස්කෘතික භුමිකාව පිළිබඳව සංයුක්ත විශ්ලේෂණයක් සිදු කරන්නටයි.

ඓතිහාසික සමාජ පසුබිම
එහිලා පළමුව ගායිකාවක ලෙස ඇගේ උද්භවය සිදුවීම නිශ්චිත ඓතිහාසික සමාජ මොහොතක් මත පිහිටුවාලිය යුතු වෙනවා. ඇය භෞතිකව උපත ලබන්නේ, මේ දිවයින බ්‍රිතාන්‍ය සිලෝනය ලෙස පවත්වා ගනු ලැබූ කාල පරාසයේ අවසාන දශක දෙක අතරයි. යටත් විජිත පාලනයේ අවසාන කාල සීමාවත්, පශ්චාත් යටත්විජිත නිදහස් රාජ්‍යයක ආරම්භයත්, අතරයි එතුමියගේ භෞතික උද්භවය සහ සංගීතමය උද්භවය සිදු වන්නේ.
සහශ්‍ර දෙකකට අධික කාලයක් පැවතුණු දේශීය වැඩවසම් පාලන තන්ත්‍රයකුත්, සහශ්‍ර අර්ධයකට එනම් වසර පන්සියයකට වැඩි කාලයක් පැවතුණු යුරෝපියානු යටත් විජිතයීය පාලන තන්ත්‍රයකුත් යථෝක්ත නව සමාජ පරිවර්තනයන් පසුබිමෙහි වූ බව එහිලා පැවසීම අවශ්‍යයි. මෙම සමාජ පරිවර්තනයේදී සිදු වුයේ භූගෝලීය, වාර්ගික සහ කුලමය වශයෙන් බහුවිධ සමාජයන් හැටියට පැවතුණු ජන සමූහයක්, ක්‍රමානුකූලව එක් සාර්වත්‍ර සමාජයක් ලෙස රූපාන්තරණය වීමයි.
සංගීතය සහ පොදු ජනතාව
වසර සහශ්‍ර දෙකහමාරක දීර්ඝ කාලයක් තිස්සේ, පූර්ව යටත්විජිත, යටත්විජිත සහ පශ්චාත් යටත්විජිත කාල වකවානු වලදී, රසවින්දන මාධ්‍යයක් ලෙස සංගීතයට හෝ ගීතයට ප්‍රවේශයක් නොතිබුණු අතිමහත් බහුතර ජනතාවන් ප්‍රමාණයක්, අභිනව සංගීත පරිභෝජකයින් බවට රූපාන්තරණය වීමේ ක්‍රියාවලිය කෙරෙහි මා මේ අදහස් දැක්වීම නාභිගත කරනවා.
එක් අතකින් ක්‍රිස්තු පූර්ව හය වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දහනව වන සියවස දක්වා කාල වකවානුවේදී සංගීතය පරිභෝජනය කිරීමේ පරම අයිතිය සහ හැකියාව තිබුණේ පාලකයාට යි. මෙවන් ඓතිහාසික සහ සමාජ සංස්කෘතික පසුතලයක් තුළ, වැඩවසම් යුගයේදී හුදී ජනයාට රසවින්දනීය මාධ්‍යයක් ලෙස සංගීත පරිභෝජනයක් සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. යටත් වාසී සමාජයන් තුළ සංගීත නිෂ්පාදනය පැවතුණේ කුල ධූරාවලියේ පහළම උපකුල වලයි. එම සංගීතයන් භාවිතා උණේ සෘජුවම රසවින්දනීය කෘත්‍යයක් සඳහා නොව, අභිචාරමය කෘත්‍යයක් සඳහායි.
යටත් විජිත යුගයේ අවසාන භාගයේ නාගරික සමාජයේ ඉහළ ස්ථරයන් සඳහා ග්‍රැමෆෝන යන්ත්‍රය, සහ ගුවන් විදුලි යන්ත්‍රය තිබුණත්, නාගරික අව වරප්‍රසාදිත නිර්ධන පන්තියට ඊට ප්‍රවේශයක් තිබුණේ නැහැ. වෝල්ටර් බෙන්ජමින් කී පරිදි, කලා කෘතිය කාර්මික ප්‍රතිනිෂ්පාදනයට (mechanical reproduction) භාජනය වීම හරහා එය ජනගත වන මොහොතේ එහි අත්දැකීමත්, ප්‍රබලත්වයත් නව ආකාරයකට සමාජය මත බෙදී පැතිරී යනවා.
සංගීතය අළලා මේ කාර්මික ප්‍රතිනිෂ්පාදන තත්වය ශ්‍රී ලාංකීය සංධර්භයේ ආවේණිකතාවන් සමග සළකා බලද්දී, එම පරිභෝජන අවස්ථාව ලබන්නේ නව සමාජයේ අභිනව ධනපති පංතියත්, බුෂුවා පංතියත්, පැරැණි වැඩවසම් පංතියත් විනා අතිමහත් බහුතරයක් අව වරප්‍රසාදිත ග්‍රාමීය සහ නාගරික ජනතාවන් නොවේ.
සංඛ්‍යා ලේඛන හෙළි කරන ඇත්ත කතාව
පූජිත ගුණවර්ධන විසින් රචිත Off the Air කෘතියේ සඳහන් දත්ත අනුව, 1930 දශකයේ අවසානය වනවිට රටේ ජනගහණය මිලියන 5.5 කට ආසන්න වූ අතර, එහි බලපත්‍රලාභී ගුවන් විදුලි යන්ත්‍ර ප්‍රමාණය ආසන්නව 15,000ක සීමාවේ තිබුණා. එහි අදහස, සාමාන්‍යයෙන් එක් ගුවන් විදුලියක් පුද්ගලයින් 366 කුගේ ප්‍රමාණයක් විසින් පරිභෝජනය කළ යුතුව තිබුණු බවයි.
1950 දශකයේ මුල් භාගයේදී ගුවන් විදුලි බලපත්‍ර ප්‍රමාණය 30,000කට පමණ ඉහළ ගොස් ඇතැයි සළකා බැලූ කලද, මිලියන 7.3කට ආසන්න ජනගහණයකට ගුවන් විදුලි යන්ත්‍රයක් වූයේ පුද්ගලයින් 243කට එකක් හැටියටයි. එනම් සමස්ත ජනගහණයෙන් සියයට 0.5 කටත් වඩා අඩු ප්‍රමාණයකටයි ගුවන් විදුලි යන්ත්‍ර තිබුණේ.
එහි අර්ථය නම් 1950 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 99.5 කට නොඅඩු ජනතාවකට ගුවන් විදුලියකින් සංගීතය පරිභෝජනය කිරීමේ අවස්ථාවක් නොතිබුණු බවයි.
සිනමාව සහ නව ශ්‍රව්‍ය පුරවැසියා
මේ අවවරප්‍රසාදිත ජනයාට පළමු වරට සංගීතයට ප්‍රවේශයක් ලැබෙන්නේ 1940 අග භාගයේ එන සිනමාව තුළින්. එම ඓතිහාසික පසුබිම තුළ, සංගීතමය රසාස්වාදන කලාව සාමාන්‍ය ජනතාවට පළමු වරට විවර වූ ප්‍රබල මාර්ගය වූයේ සිනමාවයි. මෙන්න මේ සිනමාව සහ සිනමා ගීතය හරහා ක්‍රියාත්මක වූ ”මැදිහත්කාරී සංස්කෘතික ප්‍රවාහය” (mediated cultural flow) තුළින් නව සමාජයේ නව ශ්‍රව්‍ය පුරවැසියෙක් (Auditory citizen) ක්‍රමයෙන් ගොඩනැගෙනවා.
ඓතිහාසික මැදිහත්වීම
අපේ කතා නායිකාව, ලතා වල්පොල ගායන ශිල්පිනියගේ භූමිකාව තීන්දු වන්නේ ද අන්න එම බරපතළ සමාජ සංස්කෘතික විප්ලවයේ ප්‍රධාන මැදිහත්කාරියක ලෙසයි. එම අර්ථයන් බැලූ විට, 1950 දශකයේ මුල් යුගයේ සිට, බහුතර ශ්‍රී ලාංකිකයාගේ කණ සංගීතයට හුරු කිරීමේ ඓතිහාසික ක්‍රියාවලියට ලතා වල්පොළ මැතිණිය සෘජුවම මැදිහත් වූ බව අපට ඉතා පැහැදිලිවම පෙනී යනවා.
ඉන්දියානු චිත්‍රපට ආකෘතිය සිය මූලාකෘතිය බවට පත්කරගෙන වර්ධනය වීමේදී, මුල් සිංහල සිනමාවේ ඉන්දියානු ස්ත්‍රී කටහඬ ආධිපත්‍යය ප්‍රබලවම කැපී පෙනුණා. එක් අතකින් ලතා වල්පොලට පූර්වයෙන් සිංහල ගීතයේ දේශීය ස්ත්‍රී හඬ හැටියට තිබූ ප්‍රබලතම හඬවල් දෙක වූ රුක්මණී දේවිය ගේ සහ චිත්‍රා සෝමපාලගේ හඬවල් වල බටහිර සංගීතයේ යම් ශික්ෂණයක් තිබුණු බව ඒ ගායන විලාසයන්ගෙන් සහ කට හඬ තාන වර්ණයෙන් පෙනී යනවා.
ලතා වල්පොළ ගේ ස්ත්‍රී හඬ විසින් යෝජනා කෙරෙන්නේ බටහිරත් නොවන, එසේම හින්දුස්තානීත් නොවන අන්තර්මධ්‍ය හඬ තානයක්. ඇය ස්වකීය නිර් බටහිරිය සහ නිර් ඉන්දීය, අන්තර්මධ්‍ය හඬ තානය හරහා වෙසෙසින්ම සුනිල් සාන්තයන්ගේ සිංහල සංගීත අනන්‍යතා ව්‍යාපාරයට අවිඥානික ලෙස නමුත් බරපතළ ලෙස සම්බන්ධ වූ බව පෙනෙන්නට තිබෙනවා.
මේ සියළු තත්වයන් සලකා බලන කල, ලතා වල්පොළ ගායන ශිල්පිණිය උදක්ම සම්මානලාභී, පුරෝගාමී සහ අයිකොනික ගායන ශිල්පිනියක් මතු නොව, වසර දෙදහස් පන්සියයක් තිස්සේ, සංගීතයට ප්‍රවේශයක් හෝ අදාළත්වයක් හෝ නොතිබූ, අව වර ප්‍රසාදිත බහුතරයක් හුදී ජනයාගේ සංගීත ශික්ෂාව ගොඩ නගන්නට අවිඥානිකව නමුත් බරපතළ ලෙස දශක හතකට නොඅඩු කාලයක් දායක වූ ගායන ශිල්පිණියයි.
අවසාන වශයෙන්, අද අප ලතා වල්පොළ මැතිණියට ගෞරව දක්වන්නේ, එක් කේවල ගායන ශිල්පිණියකට දක්වන ගෞරවයක් ලෙස පමණක් නොව, සිංහල ගීතය බහුතරයක් අවවරප්‍රසාදිත ජනතාවගේ ජීවිතයට ක්‍රමයෙන් ඇතුළු කරමින්, සංගීතය වනාහී පොදුජන අයිතිවාසිකමක් බවට ප්‍රජාතාන්ත්‍රීකරණය කරන්නට දායක වූ ඇය ද ඇතුළත් ඉතිහාසමය යුගයකට ද ගෞරව දක්වමිනි.
ස්තූතියි.
