ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.
අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කළ 10%ක තාවකාලික තීරු බදු කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා මෙම නව ආනයන බදු ක්‍රමය හඳුන්වා දීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව සඳහා දැනට පවතින 20%ක අන්‍යෝන්‍ය තීරු බද්දට අමතරව මෙම 10%ක බලහත්කාර ශ්‍රමයට අදාළ බද්ද එකතු වීමයි
මෙම නව බදු පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, ඇම්බසඩර් ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) විසින් 1974 වෙළඳ පනතේ 301 වගන්තිය යටතේ අවසාන පියවර ගෙන ඇත. අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට සහ එය ඵලදායී ලෙස බලාත්මක කිරීමට අපොහොසත් වීම මෙන්ම ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය මෙසේ බදු පැනවීමට මූලිකම හේතුව වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 17කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇති බව සඳහන්. ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ මෙම බදු ප්‍රතිශතයට යටත් සෙසු රටවල් වනවා. යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය භාණ්ඩ සඳහාද මෙම ප්‍රතිශතයම අදාළ වනවා.
කෙසේ නමුත් ඇල්ජීරියාව, ඇන්ගෝලාව, ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං, ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට 12.5%ක බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මකය.
අමෙරිකානු අධිකරණ තීන්දුවකට අනුව ඉකුත් පෙබරවාරි මාසයේ දී ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය අත්හිටුවන නියෝගයක් ලබාදී තිබූ අතර, ඒ හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට අවසර හිමිව තිබුණේ දින 150ක් දක්වා පමණි. ඒ අනුව අදාළ කාලසීමාව අවසන්වීමට නියමිත බැවින් මෙම නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
කෙසේ වෙතත්, ඇමෙරිකාව පෙන්වා දෙන මෙම කරුණු දෙස බලන විට, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සැබවින්ම සිදුවන්නේ කුමක්ද යන්න සහ පවතින නීතිරීතිවලින් ඔබ්බට ගිය ශ්‍රම සූරාකෑමක් නිහඬව සිදුවන බවට ඇමෙරිකාවට යම් ඉඟියක් ලැබී තිබේද යන්න පිළිබඳව මතුවන්නේ විශාල ප්‍රශ්නාර්ථයකි.
