මේ වනවිට සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, එහි පාර්ශවකාර සංවිධාන හා එහි අනුබද්ධිත සංවිධාන නිවේදනයක් නිකුත් කරමින් සිය විරෝධය පළකර තිබේ.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාර්ශවකරුවන් ලෙස ශ්‍රී ලංකා පුවත්පත් සමාජය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහ්ස මාධ්‍ය ව්‍යාපාරය හා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කරන අතර එහි අනුබද්ධ සංවිධාන වශයෙන් මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය හා දකුණු ආසියානු මාධ්‍ය සංගමය එම පනත් කෙටුම්පතට විරෝධය දක්වා තිබේ.
මෙය රජය මූලික වී ගෙනයන වැඩපිළිවෙළක් වීම ඒ සඳහා විරෝධය පෑමට මූලික හේතුව බව සඳහන් කරන නිවේදනයේ සඳහන් කර ඇත්තේ ඉංජිනේරු ආයතනය හා ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය වැනි ශක්තිමත් වෘත්තීය ආයතන රජයේ පනතක් මගින් ඇතිකරන ලද ඒවා නොවන බව හා එම වෘත්තිකයින් විසින්ම ආරම්භ කරන ලද ඒවා වන බවයි. එමෙන්ම එම ආයතන ඇති කිරීමෙන් පසු රජයේ නොවන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මගින් පාර්ලිමේන්තුවේ සංස්ථාගත කරන ලද ඒවා බවයි.
එය මාධ්‍ය වෘත්තීය සමිති හා සංවිධාන විසින් නැඟූ විරෝධතා නොසලකා හරිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියෝග කරන ලද රාජ්‍ය ව්‍යාපෘතියක් බවද, සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා රජයේ මැදිහත්වීම්වලින් ස්වාධීනව පැවතිය යුතු වෘත්තියක් මත, රාජ්‍යය මගින් පාලනය වන නියාමන රාමුවක් පැටවීමට දරන උත්සාහයක් ලෙස එය දකින බවද එහි අවධාරණය කර තිබේ.
වෘත්තීය මාධ්‍ය ප්‍රමිතීන් ප්‍රතිපත්තියක් ලෙස ස්වයං නියාමනය විය යුතු බවද, එය අමාත්‍ය අධීක්ෂණය යටතේ නීතියෙන් පනවන ලද්දක් නොව මාධ්‍ය ප්‍රජාව විසින්ම මෙහෙයවනු ලබන්නක් විය යුතු බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, එහි පාර්ශවකාර හා අනුබද්ධ සංවිධාන දැඩි ලෙස විශ්වාශ කරන බවද එහි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
