EPF-ETF අරමුදල් එකතු කරන්නේ නෑලූ, පරිපාලනය එකතු කරනවාලූ

සේවක අර්ථසාධක අරමුදල (ඊපිඑෆ්) හා සේවක භාරකාර අරමුදල (ඊටීඑෆ්) එක් අරමුදලක් බවට පත් නොකරන බවත්, එම අරමුදල්වල පරිපාලනය පමණක් එක් ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ අද (ජුලි 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නියෝජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ස්ථාවර නියෝග යටතේ ඊපීෆ් හා ඊටිඑෆ් අරමුදල් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එමෙන්ම නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ එම අරමුදල් දෙක එක් පරිපාලන ව්‍යුහයක බවට පත් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් හා එම අරමුදල් දෙක සම්බන්ධයෙන් වගකීම් දරන ආයතනවල නිලධාරීන්ගේන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි.

එම කමිටුව සිය වාර්තාව මාස තුනක කාලයකදී ලබාදිය යුතු බවද, අරමුදල් දෙක ඒකාබද්ධ කිරීම මගින් පවතින නීතිමය වගකීම වැඩිවන බවද පැවසීය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C-144 දරන සම්මුතිය අනුව මෙම පරිපාලන ව්‍යුහය ගොඩනඟන බවද, ඒ සම්බන්ධයෙන් ජාතික කම්කරු උපදේශක සභාව තුළ 7 වරක් සාකච්ඡා කළ බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙවැනි අරමුදල් පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව වාර්තාවක්ද, සේවායෝජකයන්ගේ සම්මේලනයේ යෝජනාවලියක්ද මේ වන විට කම්කරු අමාත්‍යංශයට බාර දී ඇති බව ද නියෝජ්‍ය අමත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

එම පිළිතුරු ලබා දීමෙන් පසු විපක්ෂ නායකවරයා නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ යෝජිත වෙනස්කම් පිළිබඳ එම නිලධාරි කමිටුව සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවට අවසර ලබාදෙන ලෙසයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading