එක්නැලිගොඩ අතුරුදහන් කිරීම – මුරලිගෙන් නැවත සාක්ෂි ගන්න අධිකරණ අවසරය

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවේ හතරවෙනි සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් මුරලිගෙන් නැවත සාක්ෂි විමසීමට ඒ සම්බන්ධයෙන් පත්කර ඇති කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (ජුලි 24) තීරණය කළේය.

මීට පෙර නඩු දිනයේදී එම සාක්ෂිකරුගෙන් නැවත සාක්ෂි විමසිය යුතු බවට පැමිණිල්ල කළ ඉල්ලීම අනුව මෙම අවසර ලබාදීම ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදෙනු ලැබීය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයේදී මෙම සාක්ෂිකරු විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි ලබාදීම නිසා ඔහු මහාධිකරණ නඩුවේ සාක්ෂිකරුවකු බවට පත්කරන ලද අතර මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමේදී මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් සාක්ෂියට පටහැනි සාක්ෂියක් ඔහු ලබාදී තිබුණි.

ඉන්පසු සාක්ෂිකරු මහාධිකරණයට නීතිඥයකු මගින් කරුණු දක්වමින් පවසා තිබුනේ නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු යුද හමුදා නිලධාරි ෂම්මි කුමාරරත්න කළ තර්ජනය හමුවේ එසේ දෙවනවර සාක්ෂි වෙනස් කර ලබාදුන් බව හා නැවත සාක්ෂි ලබාදීමට අවසර ලබාදෙන ලෙසයි.

ඒ ආකාරයට හතරවන සාක්ෂිකරුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ෂම්මි කුමාරරත්නට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමක්ද සිදුකර තිබේ.

Author

Related Posts