මරණ සහතික ඩිජිටල් වෙයි…

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම සහ රෙජිස්ට්‍රාර් සේවයේ III පන්තියේ II ශ්‍රේණියේ, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් නව පත්වීම්ලාභී නිලධාරීන් 49 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (23) බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සිදුවිය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් මහතා ද එක්ව සිටියේය.

උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම පත්වීම්ලාභීන් හුදෙක් පත්වීම් ලිපියක් ලබා ගැනීමට එහා ගිය විශාල වගකීමක් භාරගන්නා බවයි.

උපතේ සිට මරණය දක්වා අවශ්‍ය සහතික ලබාගැනීමේදී ජනතාව මුහුණ දුන් කටුක අත්දැකීම් අනාගතයේදී වැළැක්විය යුතු බවත්, රක්ෂණ වන්දි, වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් වැනි සහන ලබාගැනීමට අවශ්‍ය වන මරණ සහතිකය කඩිනමින් ලබා දීමට මෙම නව පද්ධතිය උපකාරී වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය 1864 දී ආරම්භ වුණාට, මේ අවශ්‍යතාව ආරම්භ වෙන්නේ ඊට වඩා බොහෝ කාලයකට පෙර. අනුරාධපුර යුගයේදීත් මේ අවශ්‍යතාව තිබුණා. ඒ නිසාම ‘ලේකම්ගේ’ කියන වෙනම කාර්යාංශයක් තිබුණා. එහි වැඩ කරපු නිලධාරීන් හැඳින්වූයේ ‘ලේකම්ගේ දරුවන්’ හෙවත් ‘ස්වාමි දරුවන්’ කියලා. ඒගොල්ලෝ තමයි උපත්, විවාහ, මරණ, ඉඩම් සහ වෙනත් සියලු තොරතුරු ලේඛනගත කරලා ආරක්ෂා කළේ. බටහිර ජාතීන්ගේ ආගමනයෙන් පස්සේ ‘තෝම්බු’ හැටියට සකස් වුණෙත් මේ තොරතුරුයි. එතකොට ඔබ පත්වෙන්නේ ජනතාවගේ එවැනි භාරදූර වගකීමක කොටස්කරුවන් බවටයි. යනුවෙන් උත්සව සභාව ඇමතූ මහාචාර්ය චන්දන අබයරත්න දෙපාර්තමේන්තු ඉතිහාසය සහ නව නිලධාරීන්ගේ වගකීම පිළිබඳව සඳහන් කළේ ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading