ළමුන්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) අද (18) පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ අමාත්‍ය මණ්ඩල යෝජනාවක් (Cabinet Resolution) අද සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත කර ඇති බව එරට නිල පුවත් ඒජන්සියක් වන WAM වාර්තා කරයි.
මෙම නව නීතිමය පියවරත් සමඟ, සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙවැනි දැඩි තහනමක් පැනවූ පළමු අරාබි රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසයට එක් වන බව පැවසේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් හඳුන්වා දුන් නව රෙගුලාසිවලට අනුව, වයස අවුරුදු 15ට අඩු දරුවන් Facebook, Instagram සහ TikTok ඇතුළු කිසිදු සමාජ මාධ්‍ය ජාලයක පෞද්ගලික ගිණුම් නිර්මාණය කිරීම හෝ ඒවා පවත්වාගෙන යාම මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම තහනම් වේ.
එමෙන්ම, සමාජ මාධ්‍ය හරහා පෝස්ට් පළ කිරීම, අදහස් දැක්වීම සහ වෙනත් අයගේ පෝස්ට් ෂෙයාර් කිරීම වැනි විශේෂාංග භාවිත කිරීමටද ඔවුන්ට අවසර හිමි නොවේ. මීට අමතරව, පොදු සමූහ විවෘත නාලිකා හෝ විශාල පරාසයක ක්‍රියාත්මක වන වෙනත් අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් අවකාශයන් වෙත ප්‍රවේශ වීමද මෙමඟින් වළක්වා ඇත.
රජය විශේෂයෙන් අවධාරණය කරන්නේ දෙමාපියන්ගේ අනුමැතිය ලැබුණද, වයස අවුරුදු 15ට අඩු දරුවන්ට මෙම නීතිමය සීමාවලින් නිදහස් වීමට කිසිදු අවස්ථාවක් හිමි නොවන බවයි.
නව නීතියට අනුව, වයස අවුරුදු 15 සහ 16 අතර පසුවන නව යොවුන් දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවසර ලැබෙන නමුත්, එය ක්‍රියාත්මක වන්නේ දැඩි කොන්දේසි සහ ආරක්ෂිත පියවරයන්ට යටත් වෙමිනි. ඒ අනුව එම වයස් කාණ්ඩයේ දරුවන්ගේ ගිණුම් සඳහා වයසට ගැළපෙන අන්තර්ගතයන් පමණක් දර්ශනය වන පරිදි විශේෂ පෙරහන් සක්‍රීය කෙරෙන අතර, හඳුනා නොගත් බාහිර පරිශීලකයන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාවද සම්පූර්ණයෙන්ම අක්‍රීය කෙරේ.
මීට අමතරව, දරුවන් ඩිජිටල් තිර දෙස බලා සිටින කාලය පාලනය කිරීම සඳහා විශේෂ කළමනාකරණ මෙවලම් හඳුන්වා දෙන අතර, දෙමාපියන්ට තම දරුවන්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් දුරස්ථව සිට නිරීක්ෂණය කළ හැකි විශේෂ දෙමාපිය පාලන මෙවලම් අනිවාර්ය කිරීමටද පියවර ගෙන ඇත.
මෙම නව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ක්‍රියාත්මක වන සියලුම සමාජ මාධ්‍ය සමාගම් වෙත මාස 12ක සංක්‍රාන්ති කාලසීමාවක් ලබා දී ඇත.
