ශ්‍රී ලංකාව 2025 වසර සඳහා රජය විසින් නියම කර ඇති සංචාරක පැමිණීම් සහ සංචාරක ආදායම් ඉලක්ක සපුරා ගැනීමට අපහසු වනු ඇතැයි, තැරැව්කාර සමාගමක් වන සීටී ස්මිත් සිකියුරිටීස් (CT Smith Securities) විසින් කරන ලද පුරෝකථනයකින් පෙන්නුම් කරයි. එහෙත් සංචාරක අංශය සාර්ථකව ක්‍රියාත්මක වන බව එහි දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ නව රජය මේ වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් සහ සංචාරකයින් මිලියන 3කගේ පැමිණීමක් ඉලක්ක කර ඇත.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස අට තුළ ආදායම සියයට 5.7කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 2.29ක් වී ඇති අතර, සංචාරකයින් පැමිණීමද සියයට 15කින් ඉහළ ගොස් මිලියන 1.57ක් දක්වා වැඩි වී ඇති බව නිල දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව මීට පෙර තත්වයන්ට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේදී ශ්‍රී ලංකාව සාර්ථකත්වයක් පෙන්නුම් කරනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබේ. අසමත් වනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරන්නේ ලංකාවම තැබූ ඉලක්වලට ළගා වීමේදීය.
2025 දී විදේශීය සංචාරකයින් මිලියන 2.4ක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 3.4ක ආදායමක් අපේක්ෂා කරන අතර, 2026 දී සංචාරකයින් මිලියන 3ක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක ආදායමක් අපේක්ෂා කරයි.
සංචාරක ක්‍ෂේත්‍රය 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයකට දායක විය. නමුත් 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරය, 2020 වසරේ කොවිඩ්-19 වසංගතය සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එයට දැඩි බලපෑම් එල්ල විය.
2025 වසරේ මුල් භාගයේදී සංචාරක ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 6.3ක් වී ඇති බව සීටී ස්මිත් ආයතනය පෙන්වා දෙයි. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාම ධනාත්මක දායකත්වයක් සංචාරක කර්මාන්තය ලබා දෙන බවයි.
