ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය පසුගිය දා (01) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ශ්‍රී සුමංගල සභාසදයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
එහි දී වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස මහින්ද චන්ද්‍රසේකර විසින් රචිත ‘වාපි’ සම්මාන හා සහතික හිමිකරගනු ලැබුවා. ඒ අවසන් වටය සඳහා තේරී පත්වුණු තරිඳු ශ්‍රී ලොකුගමගේ රචනා කරන ලද ‘ඇල්බට්වරුද මනුෂ්‍යයෝය’, චන්ද්‍රරත්න බණ්ඩාරගේ ‘පියාසර සමය’, පී. බී. ජයසේකරයගේ ‘සිතේ කෙටුණු දේවනගර’ සහ සේපාලී මායාදුන්නේගේ ‘සිරස පාද වර්ණනාව’ නම් කෘති අතරිනුයි.
තව ද කීර්ති වැලිසරගේ විසින් රචිත ‘ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යෑම’, කපිල කුමාර කාලිංගගේ ‘ගේට්ටුව ළඟ නතර කළ රථය’, එරික් ඉලයප්ආරච්චිගේ ‘මහජන ෆාමසිය’, සමිත බී. අටුවබන්දෑලගේ ‘වනිගසේකර තිත් මුවෙක්’ සහ අජිත් පැරකුම් ජයසිංහගේ ‘සූදුරු අබා’ නම් අවසාන වටයට නිර්දේශිත කෘති අතුරින් විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය සඳහා සම්මාන දිනා ගනු ලැබුවේ එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘මහජන ෆාමසිය’ කෙටිකතා සංග්‍රහයයි.
ටිම්රාන් කීර්තිගේ ‘මදුරාවතී නම් තරු රටාව’ වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මානිත වූ අතර, ඒ අවසන් වටයට නිර්දේශ වූ කුමාර හෙට්ටිආරච්චිගේ ‘කස්තුරි මුවෙකුගේ භූගෝල විද්‍යා පොත’, මංජුල වෙඩිවර්ධනගේ ‘බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්’, ටිම්රාන් කීර්තිගේ ‘මදුරාවතී නම් තරු රටාව’, සමිත බී. අටුවබැන්දෑලගේ ‘මං ඉන්නවා හිනා වෙවී’ සහ අනුරාධා නිල්මිණිගේ ‘මීවන ළමයෙකි හදවත’ යන කෘති අතරිනුයි.
වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය සංග්‍රහය ලෙස ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත ‘සිංහල අක්ෂර වින්‍යාසය අර්බුද ප්‍රවාද සහ යෝජනා’ කෘතිය සම්මාන ලැබූ අතර, එම සම්මාන කාණ්ඩය සඳහා ඉෂංඛ මල්සිරි විසින් රචනා කරන ලද ‘කෙත සහ පින්කෙත’, ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත ‘සිංහල අක්ෂර වින්‍යාසය අර්බුද, ප්‍රවාද සහ යෝජනා’ සහ සුනන්දා ප්‍රේමසිරි විසින් රචිත ‘ජනශ්‍රැති අධ්‍යයන විධික්‍රම සහ ක්‍රමවේද න්‍යායාත්මක සහ විවරණාත්මක ආදර්ශ කිහිපයක්’ යන කෘති අවසාන වටය සඳහා නිර්දේශිත ග්‍රන්ථ බවට පත්ව තිබුණා.
මංජුල වෙඩිවර්ධන රචිත ‘බල්සාක් කැෆේ’ කෘතිය වසරේ විශිෂ්ටතම තීරු ලිපි හෝ විශේෂාංග සංග්‍රහය ලෙස සම්මානයට පාත්‍ර වුණා . ඒ සෞම්‍ය සඳරුවන් ලියනගේ විසින් ලියූ ‘Lifeline දූපතේ ජීවිතේ’, බන්දුල පී. දයාරත්න ලියූ ‘ටොම්සන් මහත්තයා 3 සහ 4 කෘති’, සුනිලා විජේසිංහගේ ‘ශේෂ පත්‍ර’ හා මංජුල වෙඩිවර්ධනගේ ‘බල්සාක් කැෆේ’ නම් නිර්දේශිත කෘති අතරින්.
වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය ලෙස සුනෙත් රූපසිංහගේ ‘පුදසුනක නිසල බව’ සම්මානයට පාත්‍ර වූ අතර, අවසන් වටය සඳහා දයානන්ද සෙනරත්ගේ ‘අසංකයක් තරම්’, සුනෙත් රූපසිංහගේ ‘පුදසුනක නිසල බව’, සුගත් සෝමවීරගේ ‘මතක මංකඩ’ සහ යමුනා මාලිනි පෙරේරාගේ ‘යාය පුරා මල්’ යන කෘති නිර්දේශ වී තිබුණා.
