“හාමුදුරුවෝ හෙලුවෙන්” යැයි කියා කිවූ කොල්ලා මිය යයි ! සුබ ගමන් ටෙනිසන් පෙරේරා.

කේ.කේ. සමන් කුමාර විසින්, මෙරට නූතනවාදී සාහිත්‍ය භාවිතයේ, මහා වෘක්ෂ ත්‍රිත්වයෙන් එක් අයෙකු ලෙස හඳුන්වන දක්ෂ, ආන්දෝලනාත්මක, නිර්භය හා නූතනවාදී නැඹුරුවක් සහිත ලේඛකයෙකු වන ටෙනිසන් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

1940 වසරේ පෙබරවාරි මස 02 වන දිින කැලණියේ කුඩා බුත්ගමුව ප්‍රදේශයේ උපත ලැබූ, මියයන විට 86 වැනි වියෙහි පසුවූ ටෙනිසන් පෙරේරා, දැවැන්තයෙකු වන්නේ නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු හා පරිවර්තකයෙකු ලෙස කෘති සියයකට අධික ප්‍රමාණයක් රචනා කිරීමෙන් පමණක් නොව, සිය නිර්මාණ හරහා දැක් වූ අදහස් ප්‍රකාශ කිරීමේ නිර්භය ස්වභාවය හා නිර්මාණාත්මක විශීෂ්ටතාවය හේතුවෙන් ය.

ඔහු විසින් වයස අවුරුදු 27 දී පමණ රචනා කරන ලද “දැති රෝදෙන් උපන් බුදුන්” නමැති කෙටිකතා සංග්‍රහය මෙරට කෙටිකතාව තුළ ඇති කළ ආකෘතිමය වශයෙන් ඇති වෙනස ඉක්මවා ගිය ආන්දෝලනයකට තුඩු දෙනු ලැබුවේ, ධනේශ්වර සමාජය හා ආගමික ආයතන විවේචනය කරමින් කාර්මික බුදුවරයෙකුගේ අවශ්‍යතාවය යෝජනා කළ මෙම කෘතියෙන් බුදු දහමට අපහාස වන බව පවසමින් බෞද්ධ සමිති සම්මේලනය විසින් ගොනු කළ පැමිණිල්ලකට අදාළව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන රහස් පොලීසිය (CID) වෙත ගෙන ගොස් ප්‍රශ්න කිරීම් වලට ලක් කළ අතර, ඔහුගේ පොත් සියල්ල මුද්‍රා තබා රාජසන්තක කිරීමත් සමඟ ය.

ඔහු විසින් 1969 දී රචනා කරන ලද “දුට්ඨ ගාමිණි නොමළ වගයි” කෘතියේ එන දියසේන නම් චරිතය හරහා දේශපාලනය හා ආගමික බද්ධදාව අතර වන කඩතුරාව නිර්දය ලෙස උපහාසාත්මක දෘෂ්ටියකින් ‌හෙළා දුටු අතර, ඔහුගේ සක්වල දඩයම නම් නවතාව තුළ ඔහු ගැහැනියක බුදු වන ආකාරය නිරූපණය කළේ, පුරුෂ මූලික දෘෂ්ටියෙන් සැදි ආගමික වියරුව විසින් සමාජය අරක්ගත් කාලවකවානුවක වීම විශේෂත්වයක්.

“දියසේන යළිත් ගමට නොයයි. යාමෙන් වන අර්ථයක් නැත. තාත්තා මිය යන විට පොළොව පෑගීමට තිබූ අවසන් බිම් අඟලද විකුණා දමනු ලැබීය. හතර වරිගෙ නෑයෝ පිටසක්වළ ඇති වස්තූන් වැනිය. දියසේන දැන් තනි මිනිහෙකි. දැන් ඔහුට හිමිව ඇත්තේ මෙ පමණය.

හිස් ගෙඩියක්.

ඇස් දෙකක්.

පා දෙකක්.

කෙසඟ කඳක්.

මේ සියල්ලම එකතු කළ විට වලිසිංහ ආරච්චිගේ දියසේන. ගමක් නෑ. තමාගේ කියා ගෙයක් දොරක් නෑ. අඹුවක් නෑ. නෑනා – නෝනා නෑ.

උපුටා ගැනීම – “දුට්ඨ ගාමිණි නොමළ වගයි”

ඔහු විසින් මෑත කාලීනව රචනා කරන ලද ‘භූත ආත්ම’ නම් කෘතිය හරහා සරාගිකත්වයේ විවිධ මානයන් ඔස්සේ මානව හැසිරීම් ගවේෂණය කිරීමට ද ඔහු පසුබට නොවීම ඔහුගේ නොනැසෙන නිර්භය සාහිත්‍ය භාවිතය සම්බන්‍ධයෙන් දැක්විය හැකි ප්‍රබල උදාහරණය.

ටෙනිසන් පෙරේරා හා ඔහුගේ නිර්භය සාහිත්‍ය භාවිතාව සම්බන්ධයෙන් කේ.කේ. සමන් කුමාර ලියූ විශිෂ්ට සටනක් පහතින් අමුණන්නේ ටෙනිසන්ගේ භාවිතාවේ සුවිශේෂියත්වය වචනයෙන් කීම අපහසු නමුත්, ඔහු වෙනුවෙන් කරන ගරු කිරීමක් වශයෙන් ය.

හාමුදුරුවො හෙලුවෙන් කියා කිවූ කොල්ලා

ටෙනිසන් පෙරේරාගේ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෙටිකතා සංග්‍රහය පළමුව පළ වූයේ 1967 මැයි මාසයේ දී ය. අනතුරුව එය තහනමට ලක් විය. රහස් පොලීසිය ඔහු පසුපස එන්නට විය. මෙම කෘතිය කොතෙක් දුරට ආගම් විරෝධී වී තිබේ ද? සදාචාර විරෝධී වී තිබේ ද? රාජ්‍ය විරෝධී වී තිබේ ද? මේ කරුණු ත්‍රයම ද්වේෂ සහගතව කර තිබේ ද? යන කරුණු රහස් පොලිසියේ නිලධාරින්ගේ විශේෂ අවධානයට යොමුවිය. එ.ජා.ප. ය විසින් ප්‍රකාශයට පත් කළ ‘විනිවිද’ පුවත්පත 1967 සැප්තැම්බර් 15 කලාපයෙහි මුල් පිටෙහි ප්‍රධාන ලිපිය ටෙනිසන් ගේ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේය. ‘ආගම් හෙළා දකින වනචර, පාදඩ උන්මත්තකයාට’ විරුද්ධව ක්‍රියා කරන ලෙස එයින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබිණ. එක්තරා ප්‍රධානපෙළේ වාම දේශපාලන පුවත්පතක සිරස්තලයක් හරහා කීවේ මෙය උම්මත්තකයකුගේ ලේඛන කාරියක් බව කීවේය.

ටෙනිසන්ට පුවත්පත්වලින් එල්ල කළ ප්‍රහාර, රහස් පොලිස් ප්‍රශ්න කිරීම්, පාඨකයන් විසින් එවන ලද fදා්ෂාරෝපන හා අපහාස ආදිය හමුවේ මෙන්ම එයින් ඔහුගේ වෘත්තීය ජීවිතයට මෙන්ම පුද්ගලික ජීවිතයට වූ යම් යම් බලපෑම් ඉදිරියේ නොසැලී ඉන්නට ශක්තිය තිබිණි. රසිකයින් අතුරින් නිර්දය විචාර එල්ල වූයේ සදාචාරවාදීගෙන් සහ ආගම්වාදීන්ගෙනි. ටෙනිසන් කියන පරිදි ‘ලංකාවේ මානව හිතවාදී මහා ගත්කරුවා පවා එකල ඔහු මහලුව සිටි නිසාදෝ කීවේ මේ පොත ගැන කතාකොට උසාවි යාමට අකමැති නිසා කුමක් හෝ නොකියන බවය. තවත් යතිවරු සිවුරත් පන්සලත් ජීවත්වීමට ඕන නිසා ගොළුවත රැක්ක බැව් මතකය.’ එහෙත් ටෙනිසන් සැලුනේ නැත. ඊට වසර දෙකකට පසු එනම් 1969 ඔක්තෝම්බර් මාසයේ දී ‘දුට්ඨ ගාමිණී නොමළ වගයි’ ප්‍රකාශයට පත් කෙරිණි.

නූතනවාදී ඇසින් කලාව සාහිත්‍යය හා ලෝකය දුටු කිහිපදෙනෙක් දැතිරෝදෙන් උපන් බුදුන් වෙනුවෙන් අදහස් දැක්වූහ. එකල ලංකාවේ ප්‍රකට ලේඛකයෙකු මෙන්ම නූතනවාදී විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා කොලින් විල්සන්ගේ ඔයැ දමඑිසාැර කියවීමෙන් පසු පූර්ණ බුද්ධිමය හා භාවමය කම්පනයක් ඇති කළ කෘතිය ‘දැති රෝදෙන් උපන් බුදුන් ’ යනුවෙන් සඳහන් කළේය. ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර කීවේ මෙහි ඉතා සාර්ථක කෙටිකතා දෙකතුනක් ඇති බවය. ‘ඒ කතා මගින් තත්කාලීන බොරු හර හා කූට උපාය ශක්තීන් දැඩි උපහාසයට ලක් කරන බැවිනි. මේ කෙටිකතා තුළින් තත්කාලීන මිනිසා නිරූපණය වන බවත්’ ඔහු තවදුරටත් දැක්වූවේය. එම යුගයේ සුප්‍රකට නවකතාකරුවෙකු වූ සුගතමුණි ඥානසිරි මෙම කෘතිය අභීත වෑයමක් ලෙස හඳුන්වන ලද්දේය. කාර්මික විප්ලවයෙන් පසු ඉස්මතුවුණු සමාජ විපර්යාසයේ අනිෂ්ඨ ප්‍රතිඵල දෙස මේ පොතේ කතුවරයා බලා ඇත්තේ සානුකම්පිත වූත්, උපහාසාත්මක වූත් ඇසකිනැයි ඔහු විවරණය කළේය.

සැබැවින්ම අදද ලාංකීය නූතන සාහිත්‍යය දෙස හැරී බලන කල්හිත් ටෙනිසන්ගේ මේ ව්‍යායාමය අතිශය නිර්භීත ප්‍රයත්නයක් බව පැහැදිළිය. ඇතැම්විට එය මෙතෙක් ලාංකීය සාහිත්‍යයේ ගසන ලද නිර්භීතම කැරැල්ල විය හැකිය. එදා පැවති සමාජ වාතාවරණය අනුව ඒ එසේමය. එසේ සිතීම කොතෙක් නිවැරදිද යන්න විමසිය යුතු වන්නේ අද වන විටද සාහිත්‍ය කලා රසිකත්වයවත්, සමාජ මතවාදය හෝ වාතාවරණයවත් ඊට වඩා ප්‍රගතියකට පත්වීම වෙනුවට වඩ වඩාත් නරක තත්වයක් කරා ගාල් වී තිබීම නිසාය. එබැවින්ම අදටත් එසේම ‘දැති රෝදෙන් උපන් බුදුන්’ කෘතිය කවර පශ්චාත් නූතන තත්වයක් යටතේ වුව වලංගු බව මගේ හැඟීමයි. ක්ෂුද්‍ර කාර්මික විප්ලවය, තාක්ෂණික ධනවාදයේ, පාරිභෝගික හා විනෝද සමාජයේ ආගමනය සියල්ල හමුවේ තවමත් ටෙනිසන් මතු කරන ධනවාදයේ, කාර්මීකරණයේ ප්‍රතිපල වෙනස්ව නැත. ඒවායින් එදා ගෙනෙන ලද අනාත්මීයතාව, පරාරෝපනය හා අනෝමීයතාව පිළිබඳ සියළු ගැටළු එසේම සමාජය තුළ පරිවාරයේ පවතියි. කාරණාව ඒවා කතිකාවට නොගැනීමත්, විනෝදය හා පරිභෝජනය නමැති සීතාම්බර පටින් ඒ වසා තිබීමත් පමණි. තාක්ෂණයේ, විනෝදයේ, ගෝලීයකරණයේ, ප්‍රදර්ශනකාමී පාරිභෝගික වාදයේ, සිවුරේ සහ කොඩියේ මෙන්ම ජාතික ඇඳුමේ සීතාම්බර පටවල් යටින් තවමත් වැඩවසම්වාදයේ, ධනවාදයේ, සූරාකෑමේ, මර්ධනයේ, තණ්හාවේ මෙන්ම ජාවාරම්කාරීත්වයේ හෙලුව එසේම පෙනෙයි. සියල්ල මීදුම් පටල පමණි.

ටෙනිසන්ගේ මෙම කෙටිකතා එකතුව ප්‍රචාරකවාදී බව ඇතැමුන් දැක්වූහ. එහෙත් මා එය ප්‍රචාරකවාදයට ඌනනය නොකරමි. ඒ වෙනුවට එය ලාංකීය පෙරටුගාමී දේශපාලනික ප්‍රවනතාත්මක කලාවේ සංධිස්ථානයක් ලෙස දකිමි.

ඔහු එතුළ ගෙනෙන ආගමික සංස්ථා පිළිබඳ යතාර්ථය අද ඉස්මුරුතාවටම පිරී උතුරා ගොස්, ප්‍රශ්න නොකරන නමුදු සියල්ලන් දන්නා අධියතාර්ථයක් බවට පොලා පැන ඇත. සිවුර අධිරාජයකුගේ සීතාම්බර පටක් බවට රූපාන්තරණය වී ඇත. දැතිරෝදෙන් උපන් බුදුන් යනු ටෙනිසන් පෙරේරා නමැති දඩබ්බර කොලුවා විසින් රජ්ජුරුවො හෙලුවෙන් නොව “හාමුදුරුවො හෙලුවෙන් යනුවෙන් කෑ ගැසූ අවස්ථාව විය. අද ඔහු විසින් රසිකයන් නලවන්නට හා ප්‍රකාශකයන්ට සරිලන පරිදි මෙන්ම, සම්මාන උළෙලවල් සඳහා ලියන බොහෝ දේ පිළිබඳව අප ගෝලු ගත යුතු නැත. ඒ සියලු පව් මැකෙන්නට ඔහු දැතිරෝදෙන් උපන් බුදුන්, දුට්ඨ ගාමිණී නොමළ වගයි, සක්වල දඩයම යන කෘතීන් තුන තුළින් පමණක් තවත් ආත්ම හතකට සරිලන්නට පින් කරගෙන ඇත. අප සැවොම පවතින්නේ එදා ඔහු කරන ලද පින්මහිමයෙනි.

ආගමේ හා ජාතියේ සීතාම්බර පට සිංහල සාහිත්‍යය තුළ නිර්භීතව ගෙනහැර දැක්වූයේ ඔහුය. නූතන සාහිත්‍යය තුළ හාමුදුරුවො හෙලුවෙන් කියා පළමුවරට කිවූ කොල්ලා ඔහුය. එසේම ඔහු අධ්‍යාත්මිකත්වයෙන් හෝ ප්‍රඥාවෙන් වියුක්ත වූ අන්ධ දේවවිශ්වාසයන් මොනවට උපහාසයට ලක් කළේය.

විඥාණධාරා සන්දර්භය තුළ අධිසත්තාදී සංකල්පයන් යොදා ගනිමින් එදා ඔහු කළ පර්යේෂණ තුළ හුදු ආත්ම කේන්ද්‍රීය වූ අධිසත්තාවාදයක් වෙනුවට ඒ ඉක්මවා ගිය මායායථාර්ථවාදයක කළල ගැබ්විය. පසුකලෙක ටෙනිසන් සක්වළ දඩයම තුළ පරප්‍රාප්තියට ගෙන යන්නේ එයයි. එම කළල බිජුවට දැති රෝදෙන් උපන් බුදුන් තුළ නිරූපනය විය. ඒ තුළ යුංගියානු සාමූහික අවිඥාණය දේශපාලනීකරණය කරන්නට ඔහු සමත් විය.

පරාරෝපිත තරුණයන්, ගන්ධබ්බයන්, කම්කරුවන් හා ලිපිකරුවන්, නන්නත්තාර නිර්ධනයන් මෙන්ම ගණිකාවන්ගේ ජීවිතවල වන දුක්ඛ fදා්මනස්සයන් ඔහුගේ මෙම කෙටිකතාවල විෂය විය. පංති පරතරය සහ සූරාකෑම පිළිබඳ මාක්ස්වාදී දැක්මෙන් ඔහු සන්නද්ධ විය. ටී.ජී. ඩබ්ලිව් ද සිල්වාගෙන් පසු සිංහල සාහිත්‍යයේ මහා උපහාස රචකයා ඔහු විය. සමාජයේ ආන්තීකරණයට ලක්වූ නාගරික ගැහැණුන් සහ පිරිමින්ගේ අත්දැකීම් ඔහු විෂය කොට ගත්තේය. ඒ කිසිවක් අද දිනෙහිදු වෙනස්වී නැත. පරාරෝපිත ගන්ධබ්බ තරුණයාගේ ගැටළුව ඔහු නිරූපනය කළේය.

සැබැවින්ම ඔහු තරම් නිර්භය ලෙස මේ ආගමික සංස්ථාවන්හි කුහකත්වය, ගතානුගතික සම්ප්‍රදායන් අභියෝග කළ කිසිවෙක් මෙතෙක් සිංහල සාහිත්‍යය තුළ දක්නට නැත. ඉදිරියේදී යලි බිහිවනුද නැත. මූලික කාරණය ටෙනිසන් සයිමන් සේම බුදුදහමේ මෙන්ම බෞද්ධ සාහිත්‍යයේද, ඉතිහාස විෂයයෙහිද කෙළපත් වීමයි. ඔහු ඒ අතැඹුලක් සේ දකින්නට දකින්නට, මේ ආගමේ හා ජාතියේ සීතාම්බර පට හොඳින්ම දැක්කේය.

පනස්හයේ දරුවන්ගේ ජාතිකවාදයේ මිත්‍යාව කර තබන් ගිය පංච මහා බලවේගයේද, එහි නායකත්වයේද මායාව, මෛත්‍රී බුදුන් හා දියසේන කුමරු අතර සිංහල බෞද්ධ දේශපාලන බල ව්‍යාපෘතියේ සුනඛ පූට්ටුව දියසේන කුමරුව මහපොළවට ගෙන එමින් ඔහු එසේ පුපුරුවා හැරියේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading