අනූෂ ගජවීර දෘශ්‍ය කලා නිර්මාණ ශිල්පියාගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ 05, පාර්ක් රෝඩ්, අංක 302 හි පිහිටි Curado Art Space හි මේ දිනවල පැවැත්වේ.
මේ මස 22 සිට 28 දින දක්වා පැවැත්වෙන එම ප්‍රදර්ශනයේ ‘නිහඬ වූ මල්’ (Silenced Flowers) සමග යම් අයෙකුට සංවේදී වන්නට නොහැකි වන්නේ හෝ එය මග හැරෙන්නේ නම් එය අභාග්‍යක්මය. මේ මග හැරිය නොහැකි වියළි මල් සුවඳ මිශ්‍ර මාධ්‍යයෙන් සතපවා ඇත්තේ අනූෂ ගජවීර ශිල්පියාගේ අපූර්ව නිර්මාණකරණය ඉසියුම්ව අප නෙත් සිත් සහ හුස්ම සමග කලතන්නටම ය.
නරඹන්නන්ගේ සිත් සැනහීමේ පූර්ව සැලසුමකින් තොරව ඉදිරිපත් කර ඇති බැවින්, මෙය නරඹන්නා මවිතයට පත් කිරීමට සමත් ප්‍රදර්ශනයකි. සැබවින්ම මෙය, පුද්ගලයෙකුගේ සටහන් පොතක හෝ සමහර අවස්ථාවලදී කොළ කැබලිවල සීරුවෙන් සටහන් වූ අහඹු සිතිවිලි සමුදායක් ප්‍රසිද්ධියේ දිගහැරීමකි.
මෙහි ඇති සුවිශේෂීම කරුණ නම්, සමාජයේ අවධානයෙන් ගිලිහී ගිය මාතෘකාවක් වටා මෙම සිතිවිලි පෙළගැසී තිබීමයි. සැබවින්ම, සමාජය ඒ ගැන උනන්දු විය යුත්තේ ඇයි? වසර ගණනාවක් තිස්සේ ප්‍රමුඛත්වය ලැබූ ජනප්‍රිය මල් වර්ග තිබියදී, මංගල උත්සව වැනි සුබ කටයුතු හැඩකිරීමට වල් මල් හෝ සුන්දරත්වයෙන් අඩු මල් භාවිත කිරීමට කවුරු නම් පෙළඹෙන්නේද?
වල් වුවද ඒවා මල්ය. බහුතරයක් මිනිසුන්ගේ පරිභෝජන ජීවිතයේ දවටන වන ව්‍යාජ කිච් සුන්දරත්වය විනිවිදින අනුෂගේ මල් නිදහසේ නිහඬව සියලු දරාගැනීම් එක්කම මිය යයි. නිහඬවම සැලෙයි.
විටෙක චණ්ඩ සුළඟින් ඉදිරී යන්නට සිදු වන අසීරු මොහොතවල් වලදී නටුව දරා සිටින අතරම ගිලිහී යන මොහොතවල්ද නැතුවාම නොවේ. අනුෂ ගජවීරගේ වේගවත් පින්සල් පහර ඊට සාක්ෂි දරයි. වල් මල්, රාමු තුළ නිහඬව සියලු සංවේදනාවන් දරා සිටිද්දී කොළඹ 5 ගැලරියට ගොස් ඔබටත් ඔවුන්ගේ සංවේදනාවන් බෙදා ගන්නට පුළුවන්. ඔවුන්ගේ පාළුව තනිය සහ හුදකලාව මකන්නටත්, මෙතෙක් ඔවුන් මග හැර යාම නිසා වූ පවු කමා කර ගැනීමටද එතැනදී හැකිය.
