ලෝක සිනමාවේ මෞලි මංගල්‍යයන් ත්‍රිත්වය ලෙස හඳුන්වන කාන්, බර්ලින් සහ වැනීස් සිනමා උලෙළ අතරින් අභිමානවත් ම සහ ලෝකයේ වඩාත් ම අවධානය දිනාගත් කාන්(ස්) සිනමා උලෙළ 79 වන වරට මේ දිනවල ප්‍රංශයේ කාන්(ස්) නගරය කේන්‍ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.
මෙවර කාන් සම්මාන උලෙළේ ප්‍රධාන තරගකාරී අංශය සඳහා වන ජූරියේ සභාපතිත්වය ප්‍රචණ්ඩත්වය සහ මානුෂීය හැඟීම් අතර වන දෝලනය සිය සිනමාවේ කේන්ද්‍රය කරගනු ලැබූ ‘Oldboy’ සහ ‘The Handmaiden’ වැනි විශිෂ්ට සිනමා කෘති නිර්මාණය කළ දකුණු කොරියානු සිනමාකරු Park Chan-wook විසින් දැරීම ලෝකයේ අවධානය තවදුරටත් මෙවර උලෙළ සහ තරගකාරී අංශයේ ප්‍රතිඵල වෙත යොමු වීමට හේතු වී තිබෙනවා.
මැයි 12 සිට මැයි 23 දක්වා පැවැත්වෙන මෙම සිනමා උලෙළේ Palme d’Or සම්මානය වෙනුවෙන් ප්‍රධාන තරඟකාරී අංශය (Main Competition) සඳහා තේරී පත්වුණු චිත්‍රපට සහ ඒවායේ පසුබිම පිරික්සීම මෙම ලිපිය මඟින් සිදු කිරීමට නියමිතයි.
මෙවර උලෙළේ දැඩි අවධානයක් යොමු කරගනු ලැබ ඇති චිත්‍රපටයක් ලෙස Hirokazu Kore-eda නම් සුප්‍රසිද්ධ ජපන් ජාතික අධ්‍යක්ෂවරයාගේ Sheep in the Box චිත්‍රපටය හඳුන්වා දිය හැකියි. 2018 වසරේ දී Palme d’Or සම්මානය ජයග්‍රහණය කළ Shoplifters(2018), Nobody Knows (2004), Like Father, Like Son (2013), Monster (2023) ආදී මානව හා පවුල් කේන්ද්‍රීය චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කොරේ-එඩා මෙවර තම පුත්‍රයාගේ මරණයෙන් පසු නිවසට ගෙන එන මානවරූපී රොබෝවරයෙකු වටා ගෙතුණු කතා තේමාවක් සිය චිත්‍රපටය හරහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීළඟට මෙම වසරේ වැඩිම අවධානයක් හිමිකරගත් චිත්‍රපටය ලෙස සුප්‍රසිද්ධ ඉරාන සිනමාකරු Asghar Farhadi ගේ Parallel Tales හඳුන්වා දිය හැකියි. ‘A Separation’, ‘The Salesman’ වැනි ඔස්කාර් සම්මානලාභී සුප්‍රසිද්ධ නිර්මාණ බිහි කළ ෆර්හාඩි මෙවර ප්‍රංශ සිනමාවේ අග්‍රගණ්‍ය නිළි Isabelle Huppert ද සමඟින් පෝලන්ත මහා සිනමාකරු Kieślowski ගේ A short film about love චිත්‍රපටයේ සෙවණැල්ල මත පැරිස් නුවර ජීවත්වන මිනිසුන් කිහිප දෙනෙකුගේ ජීවිත එකිනෙකට බැඳෙන ආකාරය පිළිබඳව මෙම සිනමාපටය නිර්මාණය කර තිබෙනවා.
තව ද කාන් සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂවරයා සහ හොඳම තිර රචකයාට හිමි සම්මාන දිනාගනු ලැබූ ‘All About My Mother’ (1999) සහ ‘Volver’ (2006) වැනි චිත්‍රපට නිර්මාණය කළ ස්පාඤ්ඤයේ සුප්‍රසිද්ධ සිනමාකරු Pedro Almodóvar තම 24 වන වෘත්තාන්ත සිනමාපටය වන ‘Bitter Christmas’ ද මෙවර උලෙළ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
‘Ida’ සහ ‘Cold War’ හි අධ්‍යක්ෂක පෝලන්ත ජාතික සිනමාකරු Paweł Pawlikowski ගේ Fatherland, ‘Drive My Car’ හරහා ලෝකයේ අවධානය දිනාගනු ලැබූ ජපාන සිනමාකරු Ryusuke Hamaguchi ගේ All of a Sudden, දකුණු කොරියානු අධ්‍යක්ෂ Na Hong-jin ගේ Hope, වසර 9 ක නිහඬතාවයකින් පසු නැවත සිනමාවට පැමිණෙන ‘The Return’ (2003) සහ ‘Leviathan’ (2014) වැනි ලෝක පූජිත චිත්‍රපට නිර්මාණය කළ Andrey Zvyagintsev ගේ ‘Minotaur’, මෙවර සිනමා උළෙලේ තරඟකාරී අංශය නියෝජනය කරන එකම ඇමෙරිකානු ජාතික අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටය වන Ira Sachs ගේ The Man I Love ආදී චිත්‍රපට මෙවර Palme d’Or වෙනුවෙන් තරග කරනු ලබනවා.
මීට අමතරව,
Cristian Mungiu ගේ 𝗙𝗷𝗼𝗿𝗱
Lukas Dhont ගේ 𝗖𝗼𝘄𝗮𝗿𝗱
Jeanne Herry ගේ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗗𝗮𝘆
Rodrigo Sorogoyen ගේ 𝗧𝗵𝗲 𝗕𝗲𝗹𝗼𝘃𝗲𝗱
Javier Ambrossi සහ Javier Calvo ගේ 𝗧𝗵𝗲 𝗕𝗹𝗮𝗰𝗸 𝗕𝗮𝗹𝗹
Valeska Grisebach ගේ 𝗧𝗵𝗲 𝗗𝗿𝗲𝗮𝗺𝗲𝗱 𝗔𝗱𝘃𝗲𝗻𝘁𝘂𝗿𝗲
Marie Kreutzer ගේ 𝗚𝗲𝗻𝘁𝗹𝗲 𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿
László Nemes ගේ 𝗠𝗼𝘂𝗹𝗶𝗻
Arthur Harari ගේ 𝗧𝗵𝗲 𝗨𝗻𝗸𝗻𝗼𝘄𝗻
Koji Fukada ගේ 𝗡𝗮𝗴𝗶 𝗡𝗼𝘁𝗲𝘀
Emmanuel Marre ගේ 𝗡𝗼𝘁𝗿𝗲 𝗦𝗮𝗹𝘂𝘁
Léa Mysius ගේ 𝗦𝘁𝗼𝗿𝗶𝗲𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝗡𝗶𝗴𝗵𝘁
Charline Bourgeois ගේ 𝗔 𝗪𝗼𝗺𝗮𝗻’𝘀 𝗟𝗶𝗳𝗲
චිත්‍රපට මෙවර ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කිරීමට නියමිතයි.
මෙවර කෑන්ස් උළෙල නියෝජනය කරන එකම දකුණු ආසියානු චිත්‍රපටය වන්නේ නේපාලයේ Abinash Bikram Shah අධ්‍යක්ෂණය කළ “Elephants in the Fog” චිත්‍රපටයයි. ප්‍රධාන තරගකාරී අංශයේ නොවන Un Certain Regard අංශය යටතේ තරගවදින මෙම චිත්‍රපටය වල් අලි තර්ජනයට ලක් වූ ගම්මානයක වෙසෙන ලිංගික සංක්‍රාන්ති කාන්තාවකගේ අරගලය සහ අතුරුදහන් වූ දරුවෙකු සොයන මවකගේ කතාවක් රැගත් චිත්‍රපටයක් බවයි සඳහන් වනවා.
කාන් සම්මාන උලෙළට එල්ල වන ප්‍රධාන චෝදනාවක් වන ප්‍රභේද සිනමාව (Genre Cinema) වෙනුවට නාට්‍යමය ශානරයට පමණක් අයත් චිත්‍රපටයන්ට පමණක් අවස්ථාව ලබා දීමට පිළිතුරක් ලෙස Na Hong-jin ගේ ‘Hope’ වැනි Science Fiction ශානරයට අයත් චිත්‍රපට ප්‍රධාන තරඟකාරී අංශයට ඇතුළත් වීමෙන් පෙනී යන්නේ එම චෝදනාව ද පුස්සක් ව ඇති බවයි.
