සුන්දරත්වයෙන් පිරි නගරයක සිහින සිනමාව : අස්ගාර් ෆර්හාඩි ගේ Beautiful city

“ආදරය කරන කෙනෙක්ව අමතක කරන්න පුළුවන් කියලා වෙන කෙනෙක්ට කියන්න ලේසියි. ඒත් ඇත්තටම ඔබට ආදරය කරන කෙනෙක්ව අමතක කරන්න වුණොත් ? ඒක ඔයා කියන තරම් පහසුයි ද ? “

අපි අනෙක් කෙනෙකුට කරන්න යෝජනා කරන දෙයක් ; විශේෂයෙන් ආදරය සම්බන්ධ දෙයක් අපිටම කරන්න වුණා ම ඒක මොන තරම් ප්‍රායෝගික ද කියන කාරණය අපිට ම අත්හදා බලන්න ලැබෙනවා. ළඟදි මේ ප්‍රශ්නය මට ආයෙමත් මතක් වුණේ සුප්‍රසිද්ධ ඉරාන සිනමාකරු “අස්ගාර් ෆර්හාඩි” ගේ Beautiful city චිත්‍රපටයත් එක්ක.

මරණ දඬුවමට නියම වුණු අවුරුදු 18 ට අඩු තරුණයෙක් තමන්ට අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමඟ, එතෙක් වයස හේතුවෙන් ක්‍රියාත්කම නොවී තිබුණු මරණය, අද හෙට පැමිණේවි යන භීතියෙන් ඇලළී යාමකින් චිත්‍රපටිය ආරම්භ වන මේ චිත්‍රපටය ඉන් එහාට ගලාගෙන යන්නෙ ඉතාම සරල මානුෂීයත්වය හා ගැටහැහුණු කාරණා එක්ක.

වරදකාරීත්වය, පළිගැනීම, අසරණබව, දරිද්‍රතාව, පවුල වගේ සියුම් කරුණු දිගේ තමන්ගෙ සිනමාපටය ගොඩනගන ෆර්හාඩිගේ විශිෂ්ටත්වය තමයි, කිසිම වෙලාවක චිත්‍රපටියේ කේන්ද්‍රීය ගැටුම් අපට නොපෙන්වීම. ඒ හැම ගැටුමක්ම අපිට දකින්න ලැබෙන්නෙ දුරස්ථව. ඒ ගැටුමේ ස්වභාවය හෝ ගැටුම මොන ආකාරද කියන කාරණය ෆර්හාඩි තමන්ගේ සිනමා භාෂාව ඇතුළෙ ඉතාම දක්ෂ ලෙස සඟවනවා. අපිට දකින්න ලැබෙන්න ඒ කේන්ද්‍රීය ගැටුමේ ප්‍රතිඵලය විතරයි. ඒ හරහා ඇති වන ප්‍රතිවිපාක විතරයි. ඒ ගැටුමේ තත්ත්වයත්, ගැඹුරත් සියල්ල සිද්ධ වෙන්නෙ අපේ පාරිකාල්පනික ලෝකය ඇතුළෙ විතරයි.

උදාහරණයක් විදිහට චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය මරණ දඬුවමට නියම වීමට බලපෑ හේතුව පවා අපිට දැනගන්න ලැබෙන්න කඩින් කඩ. සම්පූර්ණ සිද්ධිය විදිහට නෙවෙයි. ඒ සිද්ධිය සම්පූර්ණයෙන් ම ගොඩනගාගන්නෙ අපි විසින්. හැබැයි ඇත්තටම සිනමාකරු එළවගෙන යන්නෙ ඒ සිද්ධිය පස්සෙන් නෙවෙයි. ඒ හරහා ඇතිවන මානුෂීය කම්පනය පිටිපස්සෙ. ඒ තුළින් මතුව එන සියුම් භාවමය හැඟීම් මාත්‍රයන් දිගේ. මම විශ්වාස කරන්නෙ ෆර්හාඩි මතුකරන මේ ස්වභාවය තමයි ඔහුගේ චිත්‍රපටවල තියෙන විශ්වීය ස්වභාවය මතු කරන්නෙ. මිනීමැරුමකට තියෙන හේතු විවිධ වෙන්න පුළුවන්. ඒත් මිනිස්සු ආදරයේ දී, සහෝදරත්වයේ දී, පවුල් සංස්ථාවේදී, මිත්‍රත්වයේ දී දක්වන හැඟීම්වල අවසාන කේන්ද්‍රය වෙනස් වෙන්න පුළුවන් ද ?

ෆර්හාඩිගේ සිනමා ප්‍රකාශනය ඇතුළෙ මම අර කලින් සඳහන් කළ මිනීමැරුම කළ තරුණයා දකින්න ලැබෙන්නෙ ඉතාම සීමිත සහ මුල් තිරකාලය ඇතුළත විතරයි. ඒ මුළු කතාවම ගොඩනැගෙන බල කණුව එයා වුණාට ඒ කතාව කියන්න ඒ චරිතයවත් අධ්‍යක්ෂවරයා පාවිච්චි කරන්නෙ නෑ. සිනමාකරුවෙක් තමන්ගෙ කතාවට බලපාන කේන්ද්‍රීය චරිතය හෝ සිද්ධිය සම්පූර්ණයෙන් ම තමන්ගෙ කතාවෙන් අයින් කරලා සිනමාපටය ගොඩගැනීම අභියෝගයක් කියල හිතෙන්න පුළුවන්. ඒත් ෆර්හාඩි කීපවතාවක් ම ඒ අභියෝගය ඉතාම සරලව ජය අරගෙන අපි ඉදිරියට එනවා. Beautiful city ඇතුළෙදි විතරක් නෙවෙයි. The salesman චිත්‍රපටියේ දී පවා ෆර්හාඩි මුළු කතාවම ගොඩනගන්නේ අදාළ කේන්ද්‍රීය සිද්ධියම අපට නොපෙන්වා. ඒ තමයි ෆර්හාඩිගේ මායාව. ඒ තමයි ෆර්හාඩිගේ සිනමාත්මක වියමනේ විශිෂ්ටත්වය.

Beautiful City සිනමාපටයේ මම ඉතා ම කැමති දර්ශන තුනක් තියෙනවා. ඉන් එකක් තරුණයෙක් සහ තරුණියක් කුඩා දරුවෙකු මාර්ගයෙන් තමන්ගේ ජීවිත ගැන එකිනෙකා හමුවේ හෙළිකරගන්න දර්ශනය. දෙවැන්න තමයි විවාහයක් සම්බන්ධ රහසක් හෙළිවීමෙන් පස්සෙ තරුණියක් අතේ ඇති මුද්ද ගලවා දමන අවස්ථාව. තුන්වැන්න කුඩා දරුවාව තරුණයා විසින් ගීතයක් කියමින් නළවන අවස්ථාව. මේ සිද්ධි තුනම කතාව තුළ ස්ථානගතවන විදිහ ඉතාම තදින් මාව චිත්‍රපටය වෙත පොළඹවාගත්තා. සහ චිත්‍රපටයෙන් මිදී යෑම නවතා දැමුවා කියලයි මට හිතුණෙ.

මම ඉතාම ආශක්ත වුණු දෙයක්.තමයි Beautiful City චිත්‍රපටයේ චරිත සහ සිද්ධි මැද ඉරානයේ නීතිය, ආගම, ආදරය වගේ කාරණා ෆර්හාඩි බරපතල ලෙස කතාවට කිසිඳු හානියක් නොවන විදිහට ප්‍රශ්න කරන ආකාරය සහ එතනින් නොනැවතී ඒ හර පද්ධතීන්වල සහ ඉරාන සමාජයේ තියෙන සාධනීය දේවල් පවා චිත්‍රපටයේ වියමන යටින් ඉතාම දක්ෂ විදිහට අපට සන්නිවේදනය කිරීම. මේ කිසිම දෙයක් ඉතාම බරපතල දේශපාලනික හෝ සමාජීය කාරණා විදිහට ප්‍රේක්ෂකයට දමලා ගහන්නෙ හෝ වෙනම දෙබස් දාලා වෙනම වෙලාවක් වෙන් කරගෙන ප්‍රේක්ෂකයාට උගන්වන්න යන්නෙ නැහැ. ඒක නිරායාසයෙන් ම ඔහුගේ සිනමාරූප ඇතුළෙන් අපට පේනවා. ඒක ජීවිතය තුළ අනෙක් සියල්ලම ගැටගැහෙනවා වගේ දෙයක්. ඔහු ජීවිතය සහ මිනිස්සුන්ගේ ක්ෂුද්‍ර හැඟීම් ඔස්සේ දේශපාලනය, ආර්ථික විෂමතාවයන්, ජීවිත සඳහා සිදුවන ආගමික මැදිහත්වීම, ඉරාන පොලිසිය ආදී සියල්ලන්වම එකම තිරයකට අරගෙන එන ආකාරය ඉතා ම ළගන්නාසුළුයි.

තවත් වැදගත් ම කාරණයක් තමයි, සිනමාපටයේ කිසිම තැනක ආදරය කියන වචනය ඇහෙන්නෙ නැහැ. විශේෂයෙන් ආදරය කරන දෙදෙනා අතර එකම එක දෙබසක්වත් ආදරය සම්බන්ධයෙන් හුවමාරු වන්නේ නැහැ. ඒත් ඔවුන් දෙන්නා අතර ගොඩගැනෙන බැඳීම අධ්‍යක්ෂවරයා මොන තරම් ක්ෂුද්‍ර සහ විශ්වාසදායී විදිහට ගොඩනගලා තියෙනව ද කියන කාරණය අපට දැනෙන්නෙ චිත්‍රපටයේ අවසානය වෙත එළඹෙන මොහොතේ දී. ඒ මොහොත එනකන් ම අපිට දකින්න ලැබෙන්න යම් යම් හුවමාරු කරගැනීම, අනෙකා වෙත දක්වන සැලකිල්ල, ආදරය හා සම්බන්ධ නැති වචන, කුඩා කුඩා සිද්ධීන් විතරයි. ඒ හරහා ගොඩනැගෙන සම්බන්ධයට ආදරය කියලා කියන්නේ අපි. ප්‍රේක්ෂකයා. අධ්‍යක්ෂවරයා විසින් වචනයක්වත් නොකියා ප්‍රේක්ෂකයා ඒ වගේ දෙයක් විශ්වාස කරන්නේ කොහොමද ? ඇත්තටම අපි සැබෑලෝකයේ දීත් ආදරේ බව වචනවලින් කියනවා ද ? නැත්නම් අනෙකා ඒ බව වටහාගන්නකන් ම අපෙන් නොදැනුවත්ව හෝ යම් වෙලාවන්වලදි දැනුවත්ම ඒ ආදරය විවිධ ඉඟි සහ හැසිරීම් ඔස්සේ පෙනෙනවා ද ? අධ්‍යක්ෂවරයා සියුම් ඉංගිතයන් සහ සිද්ධි භාවිතා කරමින් ඔහුගේ සිනමා භාෂාව තුළ මානුෂීය සම්බන්ධතා දිගහරින විදිහ ඇතුළෙ මේකට උත්තරය සිනමාත්මව භාෂාවකින් ම අපට ලැබෙනවා කියලයි මට හිතෙන්නෙ.

මම මුලින්ම උපුටා දක්වපු ප්‍රශ්නය මතක ද ? සිනමාපටය පුරාම ආදරය කරන කෙනෙක් අතහැර දැමීමට ඒ තරම් අමාරුද කියලා ප්‍රශ්න කරන කෙනෙක්ට ඒක ඇත්තටම අමාරුයි කියලා තේරුම් යෑම. ෆර්හාඩිගේ සිනමා රිද්මයේ දකින්න පුළුවන් වෙන අවසානය සහ ආරම්භය අතර එකම කරුණ සම්බන්ධයෙන් ඇතිවෙන පරස්පරතාව මේ චිත්‍රපටයේදීත් වඩාත් හොඳින් දකින්න පුළුවන්. ඒකට උදාහරණය තමයි ඒ ප්‍රශ්නය. එතැනදි අර්බුදයට යන්නෙ ඒ චරිතය විතරක් නෙවෙයි. මානුෂීයත්වය සහ ප්‍රේක්ෂකයා වන අපිව. ෆර්හාඩි අපව ඇදලා අරගෙන හිර කරන්නෙ ඒ වගේ තැනක. සමහරවිට අපි අපරාධකරුවාට අනුකම්පා කරන්න පොළඹවන තරමේ උභතෝකෝටිකයක.

පෞද්ගලිකව ෆර්හාඩිගේ අවංකම සහ විශිෂ්ටතම සිනමාකෘතිය Beautiful city කියලයි මම හිතන්නෙ. Everybody knows, A hero වගේ චිත්‍රපටි හරහා ෆර්හාඩි තමන්ගෙ සිනමාව සිනමා උලෙළවල්වලට අවශ්‍ය විදිහට හැඩගස්වාගනිමින් තමන්වම අහිමි කරගනිමින් පවතින බවත්, අනවශ්‍ය ආයාසයකින් චිත්‍රපටියේ මුල මැද අග සම්බන්ධ කිරීමට උත්හාස දරන බවත් දැනෙන පසුබිමක මම කැමතියි Beautiful city වගේ අවංක සිනමා ප්‍රකාශනයක් නැවත නැවතත් බලන්න. ඒ හරහා දැනුණු කම්පනය සහ හැඟීම නැවත ෆර්හාඩිගේ වෙනත් කිසිඳු සිනමා කෘතියකින් පවා බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading