සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක ලෙස කටයුතු කළ වෛද්‍ය චමල් සංජීව මහතා එම ධුරයෙන් සහ පක්ෂයේ දරන ලද සියලු වගකීම්වලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, වෛද්‍යවරයා මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් පේමදාස මහතා සමඟ ඇති වූ දැඩි මත ගැටුමක් හේතුවෙනි
වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන වෛද්‍ය චමල් සංජීව මහතා, පසුගිය කාලය පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ හා අක්‍රමිකතා හෙළිදරව් කරමින් පක්ෂය තුළ ක්‍රියාකාරී දේශපාලනයක නිරත විය.
කෙසේ වෙතත්, පක්ෂයේ අභ්‍යන්තර තීරණ ගැනීම් සහ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වූ යම් කරුණු කිහිපයක් මත මෙම අර්බුදය හටගෙන ඇති බව පැවසේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට යොමු කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සියලු වගකීම්වලින් තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වන බවයි.
