2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලියට අවස්ථාව ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ මතභේදාත්මක යෝජනාව ඉතාලි රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙකු වන පාඔලෝ සැම්පොලි විසින් මෙම යෝජනාව FIFA ආයතනය වෙත ඉදිරිපත් කර තිබුණි. මැදපෙරදිග පවතින දේශපාලන නොසන්සුන්තාව සහ ආරක්ෂක හේතූන් මත ඉරානය තරගාවලියෙන් ඉවත් කර, සිව් වතාවක් ලෝක ශූරයන් වූ ඉතාලියට එම අවස්ථාව ලබා දීම සුදුසු බව ඔහුගේ අදහස විය.
ඉතාලි ක්‍රීඩා අමාත්‍ය ඇන්ඩ්‍රියා අබෝඩි අවධාරණය කර ඇත්තේ, ඉරානය වෙනුවට ඉතාලි කණ්ඩායමට ලෝක කුසලාන අවස්ථාව ලබා දීමේ යෝජනාව කිසිසේත්ම ප්‍රායෝගික හෝ උචිත නොවන බවයි.
ලෝක කුසලානයක් වැනි ඉහළ පෙළේ තරගාවලියකට සුදුසුකම් ලැබීම ක්‍රීඩා පිටිය තුළ දක්ෂතා මත පදනම්ව සිදු විය යුත්තක් මිස, දේශපාලන මැදිහත්වීම් හෝ තීන්දු මත සිදු නොවිය යුත්තක් බව ඔහු පෙන්වා දෙයි. මෙවැනි බාහිර බලපෑම් හරහා තරගාවලියට ඇතුළත් වීමට ඉතාලිය කිසිසේත් අපේක්ෂා නොකරන බව පවසන අමාත්‍යවරයා, ක්‍රීඩාවේ සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද මෙහිදී තවදුරටත් පැහැදිලි කර තිබේ.
2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී බොස්නියා හර්සගොවිනා කණ්ඩායම හමුවේ පරාජය වීම හේතුවෙන් ඉතාලියට මෙවර තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය. මෙය ඉතාලිය අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි තුනක් සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ අවස්ථාව ලෙස සටහන් වේ.
FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ද මීට පෙර සඳහන් කර තිබුණේ ඉරානය තරගාවලියට සහභාගී වන බවත්, දේශපාලන කරුණු මත කණ්ඩායම් ඉවත් කිරීමට කටයුතු නොකරන බවත්ය. යම් හෙයකින් ඉරානය තරගාවලියෙන් ඉවත් වුවද, එම අවස්ථාව හිමි විය යුත්තේ ආසියානු කලාපයේ ඊළඟට ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායමකට මිස ඉතාලියට නොවන බව විචාරකයෝ පෙන්වා දෙති.
