යෝෂිතගේ නඩුවට අධිකරණයෙන් දුන් නියෝගය !

අයථා ලෙස වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින්,  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූනි මස 10 වනදා යළි කැඳවන නියෝග කරනු ලැබුවා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ මෙම නඩුව අද (24) යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි.

එහි දී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ, මෙම චෝදනාවලට සමගාමීව තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන බවත්, එම නඩුව සඳහා සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනුකිරීම සඳහා නියම වී ඇති හෙයින් මෙම නඩුව සඳහා ද සංශෝධිත අධි චෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදු වනු ඇති බවත් ය.  

ඒ පිළිබඳ වන කටයුතු වල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස රජයේ නීතිඥවරයා අනතුරුව අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබුවා.

කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව, මෙම නඩුව ජුනි මස 10 වනදා යළි කැඳවීමට මහාධිකරණය නියම කළ අතර, මෙම කටයුතුවල ප්‍රගතිය එදිනට මහාධිකරණය හමුවේ දැනුම් දෙන ලෙස නියෝග කරනු ලැබුවා.

Author

Related Posts