ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව දක්ෂතා සහ ජයග්‍රහණ පාදක ගිවිසුම්… පැරදුනොත් ප්‍රතිලාභ අඩුවෙයි…

ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා ලබා දෙන වාර්ෂික මූල්‍ය කොන්ත්‍රාත්තු පූර්ණ වශයෙන් දක්ෂතා සහ ජයග්‍රහණ මත පදනම් වූ (Performance-based) ක්‍රමවේදයකට සකස් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ඊයේ (අප්‍රේල් 23) ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.

නව ගිවිසුම් ප්‍රකාරව, කණ්ඩායම වාර්තා කරන ජයග්‍රහණ අනුව ක්‍රීඩකයින්ට හිමිවන මූල්‍ය ප්‍රතිලාභ සහ දීමනා ඉහළ යන අතර, තරග පරාජය වීමේදී එම ප්‍රතිලාභ සෘජුවම අඩු වන අයුරින් කොන්දේසි ඇතුළත් කර තිබේ. ක්‍රීඩකයින් ජයග්‍රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් දැක්වීමට දිරිමත් කිරීම සහ පිටිය තුළ උපරිම දක්ෂතා විදහා දැක්වීම සහතික කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව ප්‍රධාන විධායක නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ප්‍රධාන අභියෝගය වන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පෙර ක්‍රීඩකයින් මෙම නව ගිවිසුම් සඳහා අත්සන් තබනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2026 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිත මෙම සංචාරයට එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් තරග ඇතුළත් වේ.

පසුගිය මාර්තු 31 වැනිදායින් ක්‍රීඩකයින්ගේ පැරණි වාර්ෂික ගිවිසුම් කාලය අවසන් වූ අතර, නව ගිවිසුම් ලබා දීමේදී ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය (Fitness) පිළිබඳවද දැඩි අවධානයක් යොමු කරන බව පාලක මණ්ඩලය මීට පෙර සඳහන් කර තිබුණි.

සනත් ජයසූරිය මහතාගෙන් පසු ජාතික කණ්ඩායම සඳහා ගැරී කර්ස්ටන් වැනි නම් යෝජනා වී ඇති පසුබිමක විදේශීය පුහුණුකරුවෙකු පත් කර ගැනීමට නියමිතව ඇති අතර, මෙම නව කොන්ත්‍රාත් ක්‍රමය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව පරිවර්තනයක් සිදු කිරීමට බලධාරීන් බලාපොරොත්තු වන බව පැවසේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading