හැකර්ලා ගත්තු සල්ලි යළි ලබාගැනීමට සහ හොරු අල්ලන්න ජාත්‍යන්තර පොලීසියේ සහය…

ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් සයිබර් ප්‍රහාරයක් මඟින් අනවසර බැංකු ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ පොලිසිය ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට තිබූ ණය වාරිකයකට අදාළව සිදුකළ මෙම ගෙවීම, සයිබර් අපරාධකරුවන් විසින් අතරමැදදී වංචනික ලෙස වෙනත් ගිණුමකට හරවා යවා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකා CERT ආයතනයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා සඳහන් කර ඇත්තේ මෙය ‘Business Email Compromise’ (BEC) හෙවත් ආයතනික විද්‍යුත් තැපැල් ගිණුමකට අනවසරයෙන් ප්‍රවේශ වී සිදු කරන ලද සූක්ෂ්ම වංචාවක් ලෙස හඳුනාගත හැකි බවයි.

අපරාධකරුවන් අදාළ ආයතනයේ උසස් නිලධාරීන් හෝ විශ්වාසවන්ත විදේශීය සැපයුම්කරුවන් ලෙස වෙස්වලාගෙන, ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ මඟින් බැංකු ගිණුම් තොරතුරු වෙනස් කරන ලෙස දන්වා රජයේ මුදල් වංචනික ලෙස තම ගිණුම් වෙත හරවාගෙන ඇති බවට සැක කෙරේ.

මෙම මහා පරිමාණ වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ 2026 ජනවාරි මාසයේදී ඉන්දියාවට සිදු කිරීමට ගිය තවත් ගෙවීමකදී මතු වූ සැක සහිත තත්ත්වයක් හේතුවෙන් සිදුකළ විමර්ශනයකදීය. එමඟින් 2025 වසරේ අගභාගයේදී රජයට අහිමි වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මුදල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වී තිබේ.

අහිමි වූ රජයේ මුදල් යළි ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) දැඩි සුබවාදී බලාපොරොත්තුවක් පළ කරන අතර, අදාළ මුදල් විදේශීය රටවල් කිහිපයක් හරහා හුවමාරු වී ඇති බැවින් විමර්ශන කටයුතු ජාත්‍යන්තර මට්ටමින් පුළුල් කර තිබේ.

මෙම ක්‍රියාවලියේදී වංචාවට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීමට සහ මුදල් ගලා ගිය මාර්ග නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර පොලීසියේ (Interpol) සහාය ලබාගැනීමට පියවර ගෙන ඇති අතර, විදේශීය රටවල ක්‍රියාත්මක වන පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සමඟ ද සමීපව කටයුතු කරමින් සිටියි.

එමෙන්ම, වංචාව සඳහා භාවිත කළ තාක්ෂණික ක්‍රමවේද සහ දත්ත විශ්ලේෂණය කිරීමේදී අවශ්‍ය සියලුම විශේෂඥ තාක්ෂණික සහයෝගය පොලිසිය වෙත ලබාදීමට SLCERT ආයතනය පූර්ණ සූදානමින් සිටින බව ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා අවධාරණය කරයි.

මෙවැනි මහා පරිමාණ සයිබර් වංචාවලින් ආරක්ෂා වීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නිලධාරීන් මීට වඩා අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විශේෂ දැනුම්දීමක් කරයි.

විශේෂයෙන්ම විද්‍යුත් තැපෑල හරහා ලැබෙන ගෙවීම් උපදෙස් වෙනස් කිරීමේදී, අදාළ ආයතන සමඟ සෘජුව දුරකථනයෙන් හෝ වෙනත් විශ්වාසදායක ක්‍රමයකින් තොරතුරු තහවුරු කරගැනීමට පියවර ගත යුතු අතර, අන්තර්ජාල ගනුදෙනුවලදී බහු-සාධක සහතික කිරීම (Multi-factor Authentication) වැනි ඉහළ ආරක්ෂක පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

මේ අතර, මෙම සිදුවීමට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර විමර්ශනයක් සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, එහිදී වගකීම් පැහැර හැර ඇති බවට හඳුනාගන්නා නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට ද කටයුතු සූදානම් කර ඇත.

Author

Related Posts