ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාවක් සැප්තැම්බර් මස 07 වන ඉරිදා, ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.58 පමණ සිට නිරීක්ෂණය කළ හැකි බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව රාත්‍රි 08.58 ට ආරම්භ වන මෙම චන්ද්‍ර ග්‍රහණයේ උපරිම අවස්ථාව හෙවත් පූර්ණ චන්ද්‍ර ග්‍රහණය රාත්‍රි 11.41 පමණ වන විට දර්ශනය වනු ඇති බව හා පසු දින අලුයම 02.25 පමණ වන විට වන්ද්‍රග්‍රහණය අවසන් වනු ඇති බවයි එම ආයතනය පවසන්නේ.
කෙසේ නමුත්, පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාවක දී, චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම අතුරුදන් වීමක් සිදු නොවන අතර එය රතු පැහැයට හුරු පැහැයකින් දිස් වීමයි සාමාන්‍යයෙන් සිදු වන්නේ.
පෘථිවිය විසින් හිරුගේ සිට සඳ දක්වා පැමිණෙන එන සෘජු ආලෝක කදම්භය අවහිර කළ නමුත් යම් ආලෝකයක් පෘථිවියේ වායුගෝලය හරහා වර්තනය වෙමින් සඳ කරා යන බැවින් එය මෙසේ ආලෝකමත්ව දිස් වන බව හා පෘථිවි වායුගෝලය කෙටි තරංග ආයාමයන් සහිත ආලෝකය (රතු ආලෝකය) අඩුවෙන් විසුරුවා හරිනු ලබන හෙයින් රතු පැහැයෙන් දර්ශනය වන බවයි සඳහන් වන්නේ.
