කොළඹ කොටස් වෙළඳපළේ ලැයිස්තුගත සමාගමක් වන ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා එම සමාගම වෙත අලුතින් අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු පත් කර ඇතැයි වාර්තා වෙනවා.
තනූජ හෂාන් විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබෙන අතර චේතිය උමගිලිය වීරවර්ධන ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ගෞරව මෙහ්තා විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පත් කර තිබෙනවා.
ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී ඇති ආකාරයට ජුලි 30 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. නව අධ්යක්ෂවරුන් තිදෙනාම ධම්මික පෙරේරා අත්පත් කරගත් ඩීඑච්ටී සිමෙන්ට් ලිමිටඩ් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද වනවා. ඒ සමාගමේ සභාපති ධුරය හොබවන්නේ ධම්මික පෙරේරායි. ඒකල පිහිටි එම සිමෙන්ති සමාගමේ කර්මාන්තශාලාව තුළ පවර්ටෙක් නමින් සිමෙන්ති නිෂ්පාදන කරනවා. තනූජ හෂාන් යනු ධම්මික පෙරේරා මිලදී ගැනීමට පෙර පවර්ටෙක් සිමෙන්ති සමාගම ඉන්දියානු- ලංකා හවුල්කාරීත්වයක් ලෙස ආරම්භ කළ පුද්ගලයා මෙන්ම එහි හිටපු සභාපතිවරයාත් වුණා.
චේතිය උමගිලිය වීරවර්ධන යුනි දිල් පැකේජින් සහ යුනි දිල් පැකේජින් සොලියුෂන්ස් නම් සමාගම්වල සභාපතිවරයායි. ඔහු ඊට අමතරව ධම්මික පෙරේරාගේ ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම්වල අධ්යක්ෂ මණ්ඩලයේ සිටිනවා.
ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු නහිල් විජේසූරිය සතු සමාගමක් වුණා. එම සමාගමේ කොටස් මිලදී ගනිමින් එහි බහුතර කොටස් හිමියා බවට ධම්මික පෙරේරා මහතා පත් වුණා. ඒ රුපියල් බිලියන 3.23ක දැවැන්ත ගනුදෙනුවකිනුයි.
පෙර සඳහන් කළ ඩීඑච්ඩී සිමෙන්ති සමාගමේ සීයට 51ක කොටස් අත්පත් කරගැනීම තුළින් ධම්මික පෙරේරා පසුගිය කාලසීමාවේදී සිමෙන්ති කර්මාන්තයටද පිවිසුණා.
