“පිරමිඩ සතියේ” පිරමිඩ ව්‍යාපාර ගැන පැමිණිලි ගණනාවක් ලැබිලා !

“පිරමිඩ සතිය” නමින් පිරමීඩ ව්‍යාපාර පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නම් කරමින් වැඩසටහන් පැවැත් වූ සතියක කාලය තුළ දී පිරමිඩ ව්‍යාපාර පිළිබඳව පැමිණිලි 10 ක් ලැබී ඇති බවත්, ඒ සියලු පැමිණිලි ලැබී තිබෙන්නේ නිර්නාමික ව බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) ප්‍රකාශ කර සිටියා.

පිරමීඩ ව්‍යාපාර පිළිබඳ ව පැමිණිලි කිරීමේ දී නිර්නාමික ව එය සිදු කිරීමෙන් විමර්ශන වල දී ගැටලු මතු වන තැන් තිබෙන බව ද පෙන්වා දෙමින් මහ බැංකුව සඳහන් කළේ, පිරමිඩ සතියේ දී ප්‍රදේශීය මට්ටමින් හැකි තාක් ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කළ බවත්, ජනතාව පිරමිඩ උගුලෙන් ගලවා ගැනීම පිරමීඩ සතියේ අරමුණ වූ බවත් ය.

කෙසේ නමුත් එම අවස්ථාවේ දී මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පිරමීඩ ව්‍යාපාර පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, පිරමීඩ නො වූවත් ආයෝජන මුවාවෙන් තැන්පතු භාර ගන්නා ව්‍යාපාර බොහොමයක් වර්තමානයේ ක්‍රියාත්මක වන බවයි. එහෙයින් එවැනි ව්‍යාපාර වලට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව වගා ආයෝජන, කෘෂි කාර්මික උපකරණ සහ සුවඳ විලවුන් සඳහා බවට පවසමින් ආයෝජන මුවාවෙන් තැන්පතු භාර ගන්නා ව්‍යාපාර වර්තමානය වන විට ක‍්‍රියාත්මක වන බවත්, එම ව්‍යාපාර වෙළෙඳ ප්‍රචාරක හා ප්‍රවර්ධන දැන්වීම් සඳහා විශාල වියදමක් දරන බවත්, දැක් වූ මහ බැංකු අධිපතිවරයා එම ව්‍යාපාර අයිතිකරුවන් ඔවුන්ගේ මුදලින් එම ව්‍යාපාර කර ගෙන යන්නේ නම් එහි කිසිදු වරදක් නොමැති බවත්, එම ව්‍යාපාර මහ ජනතාවගෙන් ආයෝජන මුවාවෙන් තැන්පතු බාර ගන්නේ ඇයි ද යන ප්‍රශ්නය තමා විමසන බවත් සඳහන් කර සිටියා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ අවසාන වශයෙන් අවධාරණය කර කියා සිටියේ, එවැනි ව්‍යාපාරවල ආයෝජනය කරන විට මහ ජනතාව ඉතාමත් සැලකිලිමත් විය යුතු බවයි.

Author

Related Posts