ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව එලෙසින් ම තවදුරටත් පවත්වා ගැනීමට ඊයේ (22) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව පවසා සිටියා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75 % ක් ලෙස තවදුරටත් නො වෙනස්ව පවතිනු ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රතිපත්ති මණ්ඩලය පවසා සිටින්නේ, වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින් ම පවත්වා ගැනීම මෙරට ආර්ථික වර්ධනයට සහාය වෙමින් ඉදිරි කාලය තුළ උද්ධමනය සියයට 5 ක ඉලක්කයක් කරා මෙහෙයවීමට උපකාරී වනු ඇති බවයි.
මහ බැංකුව විසින් නැගෙනහිර ආසියානු රටවල් ක්‍රියා කරන පරිදි බාහිර ස්ථාවරත්වයක් ලබා දෙන පුළුල් අවධමන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින්, මෙරට ජීවන වියදම 5 % සිට 7 % දක්වා වර්ධනය වීමට තිබූ ඉඩහසර යටපත් කර ඇති අතර, ගෝලීය වශයෙන් නිරන්තර වෙනස්කම්වලට නතු වෙමින් පවතින ගෝලීය වෙළඳ සිතියම සහ නැවත නැවතත් සිදු වන භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව වඩාත් තීව්‍ර වී ඇති මොහොතක මෙම තීරණය ගනු ලැබූ බවයි මහ බැංකුව සඳහන් කරනු ලැබුවේ.
2025 වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට ආර්ථිකය 4.8 % ක ස්ථිර වර්ධනය වේගයක් වාර්තා කළ අතර, මෙරට හා ගෝලීය ප්‍රමුඛ ආර්ථික දර්ශකවලට අනුව වර්ධන වේගය දිගින් දිගටම පවතිනු ඇති බවයි. දේශීය වශයෙන් සිදු කරන ආර්ථික ක්‍රියාකාරකම් නැවත ආරම්භ වීමට සහාය වෙන ආර්ථික ප්‍රතිපත්ති නඩත්තු කිරීම මේ සඳහා හේතුව බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළේ.
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය රටක ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් විශාල බලපෑමක් සිදු කරනු ලබන අතර, මෙහි බලපෑම මත අනෙකුත් වානිජ බැංකුවල ණය හා පොලී අනුපාත තීරණය වීම සඳහා ඍජුව බලපෑම් කරමින් රටේ ආර්ථික වේගය හා උද්ධමන අනුපාතය අඩු වැඩි වීම සඳහා ද ප්‍රධාන ලෙස ම බලපෑම් සිදු කරනු ලබයි.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වෙත විදේශ විනිමය එවීමේ දී ද බලපානු ලබන අතර, රුපියල ශක්තිමත් වීම සඳහා ද වක්‍ර ව බලපෑම් සිදු කරනවා. උදාහරණයක් ලෙස මෙම අනුපාතය වැඩි වන විට ණය ගැනීම අඩු වීම, සාපේක්ෂ වශයෙන් වියදම් ද අඩු වීම ආදී ප්‍රථිපල අපට බලාපොරොත්තු විය හැකියි. එසේ ම මෙම අනුපාතය අඩු වන විට ණය ගැනීම පහසු වීම, ව්‍යාපාරවල ආයෝජන වැඩි වීම ආදී ප්‍රතිඵල ද අපට බලාපොරොත්තු විය හැකියි.
මෙකී ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකුව අවසාන වශයෙන් සඳහන් කළේ, “ගෝලීය අවිනිශ්චිතතාව හේතුවෙන් ගෝලීය ආර්ථිකය පිළිබඳ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරනු ලබන බවත්, දේශීය වර්ධනයන් පිළිබඳ ලැබෙන දත්ත තක්සේරු කිරීමට කටයුතු කරනු ඇති බවත්, උද්ධමන ඉලක්කය වෙත ළඟා වීම සඳහා සුදුසු ප්‍රතිපත්තිමය පියවර ගනිමින් මෙරට ආර්ථිකය එහි විභවය කරා ළඟා කිරීමට කටයුතු කරන බවත් ය.
