තනිකම හේතුවෙන් ලොව පුරා වසරකට පුද්ගල මරණ ලක්ෂ 8කට වැඩි ගණනක් සිදු වන බවත්, ඔවුන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා දෙගුණයකින් මානසික අවපීඩනයෙන් පසු වන බැවින් සිය දිවි නසා ගැනීමේ සිතුවිලි දක්වා තනිකම බරපතළ විය හැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජ සබඳතා පිළිබඳ කොමිසම සිය ගෝලීය වාර්තාව හරහා අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව එමඟින් පෙන්වා දෙනු ලබන්නේ, තනිකම ආශ්‍රිත බලපෑම් හේතුවෙන් ලොව පුරා වාර්ෂිකව පුද්ගල මරණ 871,000 කට වැඩි සංඛ්‍යාවක් සිදු වන බවත්, සාමාන්‍යයක් ලෙස ගෙන බලන විට ලෝකය පුරා සෑම පැයක දී ම තනිකම හේතුවෙන් මරණ 100 ක් පමණ සිදු වන බවත් ය.
තනිකම සහ සමාජ හුදකලාභාවය බැලූ බැල්මට ම අවදානමක් ලෙස නො පෙනෙන නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එය ආඝාතය, හෘද රෝග, දියවැඩියාව, සංජානන ගැටලු ආදිය වැඩි වීමට මෙන්ම අඩු වයසින් මරණයට පත්වීම ඉහළ යෑමට බලපාන බවයි.
ලොව පුරා සෑම පුද්ගලයන් 6 දෙනකුගෙන් ම එක් අයෙක් තනිකම හේතුවෙන් බලපෑමට ලක් ව ඇති බවත්, එමඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආර්ථිකය තත්ත්වය, අධ්‍යාපනය මෙන්ම සාමාන්‍ය ජීවිතයට ද සැලකිය යුතු අන්දමින් බලපෑම් එල්ල කර ඇති බවත්, එම වාර්තාව අවධාරණය කරනු ලබනවා.
අඩු ආදායම් සහ මැදි ආදායම් සහිත රටවල පොදුවේ වයස අවුරුදු 13ත් 29ත් අතර පුද්ගලයන්ගෙන් 17% – 21% අතර ප්‍රතිශතයක් තනිකම ආශ්‍රිත බලපෑමට ලක් ව සිටින අතර අඩු ආදායම් රටවල එය 24% දක්වා වැඩි වී ඇති බවයි විශ්ලේෂකයන් පවසනු ලබන්නේ.
