කල්කටාවේ පැවති 8 වන දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේ, වාර්තා චිත්‍රපට අංශය නියෝජනය කරමින් මෙරට ප්‍රවීණ කෙටි හා වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන අනෝමා රාජකරුණා විසින් අධ්‍යක්ෂණය කළ “No More Land” වාර්තා චිත්‍රපටය Satyajit Ray Bronze සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා.
මිනිත්තු 40 ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය හරහා ලංකාවේ ආරම්භ කළ ප්‍රථම කෘෂිකාර්මික යෝජනා ක්‍රමය වන ‘ගල් ඔය’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර දශක ගණනාවකට පසුව අද වන විට ඒ හරහා මතු වී ඇති ප්‍රතිවිපාක හා වර්තමාන තත්ත්වය පිළිබඳ ව කතිකාවතක් ගොඩනගනු ලබන අතර, එම තත්ත්වයන් කාන්තාවන් 11 දෙනෙකු හරහා විමසා බැලීම ද සිදු කරනු ලබයි.
මෙම ගල් ඔය ව්‍යාපෘතියට මූලික වශයෙන් ම ගල් ඔය නිම්නය සංවර්ධනය කිරීම, සේනානායක සමුද්‍රය ඉදිකිරීම, ගල් ඔය ජාතික වනෝද්‍යානය ස්ථාපිත කිරීම වැනි යෝජනා ඇතුළත් වූ අතර, සිවිල් වැසියන් නැවත පදිංචි කිරීම ද ප්‍රධාන වශයෙන් එහි දී සිදු විය.
කෙසේ නමුත්, සාම්ප්‍රදායික හා ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡා ආකෘතියෙන් බැහැර ‘No More Land’ වාර්තා චිත්‍රපටය, එම ප්‍රදේශයේ ජීවත් වන සියලු ම ජනවර්ගයන් හි කාන්තාවන් නියෝජනය වන පරිදි නිපදවා ඇති අතර, කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා එවක යෝජනා කළ ව්‍යාපෘතියක් වූ මෙම ගල් ඔය යෝජනා ක්‍රමය හරහා, ජනවර්ග අතර ආතතීන් නිර්මාණය කර ඇති ආකාරය, එම ප්‍රදේශයේ ජීවත් වූ ආදිවාසී ජනගහනය අවතැන් වී ඇති ආකාරය මෙන්ම ඔවුන් තමන්ගේ නිවහන ලෙස හැඳින්වූ භූමියට හිමිකම් පෑමට වලංගු ලියකියවිලි පවා නොමැති අසරණ තත්ත්වයට පත් ව ඇති ආකාරය ද හෙළි කරන බව සඳහන් වනවා.
“පසුගිය දශක හත හමාරක කාලය තුළ, සියලු ම ජනවාර්ගික කොටස්වලට අයත් මෙම පදිංචිකරුවන්ගේ පරම්පරා විසින් එම ප්‍රදේශයේ මුල් අයිතිකරුවන් වූ ආදිවාසී ප්‍රජාව සමඟ තමන්ගේ භූමිය බෙදා හදා ගෙන තිබෙනවා. ඔවුන් තමන්ගේ භූමිය සහ සම්බන්ධතා හැඩගස්වාගත් ආකාරය, මුහුණ දුන් ගැටලු හා තත්ත්වයන් මෙම චිත්‍රපටයට අන්තර්ගත වනවා. ‘No More Land’ චිත්‍රපටය හරහා කාන්තාවන් 11 දෙනෙකු, අවතැන් වීම, ගැටුම් හා බිය, ඉඩම් අර්බුද, තම නිජබිම අහිමි වීම පිළිබඳ ඔවුන්ගේ කතාව හෙළි කරනවා.” යනුවෙන් තම චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වමින් අනෝමා රාජකරුණා පවසනවා.

අනෝමා රාජකරුණා
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, මෙහි ඇතුළත් සියලු ම සම්මුඛ සාකච්ඡා 2024 වසරේ මාස හයක කාලයක් තුළ සිදු කරනු ලැබූ ඒවා වන බවයි. තමා මෙම වාර්තා චිත්‍රපටය කාන්තාවන්ගේ දෘෂ්ටියෙන් පමණක් ඉදිරිපත් කිරීම සම්බන්ධව අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, එය තමාගේ සවිඥානික ඉල්ලීමක් වූ බව හා ඉඩම් ගැටළු වල හිමිකාරිත්වය සම්බන්ධයෙන් හා එම මාතෘකාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් ම හඬ අවදි කරන්නේ පිරිමි පුද්ගලයන් නිසාත්, අම්පාර දිස්ත්‍රික්කයේ මෙම ගැටලුව පිළිබඳ ව බොහෝ පිරිමින්ට සවන් දී හෙයින් කාන්තාවන් මුහුණ දුන් දේ සඳහා තමාට සවන් දීමට අවශ්‍ය වූ නිසාත් බවයි.
අනෙක් වාර්තා චිත්‍රපටවලින් බැහැර රටාවක් අනුගමනය කරමින් සම්මුඛ සාකච්ඡාවට ලක් වූ කාන්තාවන් 11 දෙනාගේ දර්ශන ඔවුන්ගේ මුහුණ පමණක් දිස් වන ලෙස රූප ගත කිරීමට අධ්‍යක්ෂවරිය කටයුතු කර තිබූ අතර, “ පුද්ගලයෙකුගේ හඬ හා තොල් වෙත පමණක් අවධානය යොමු කරන විට එම පුද්ගලයා ඔහු හෝ ඇය වෙනුවෙන් කතා කරනවා” යැයි ඊට හේතු දක්වමින් පවසා සිටියා.
කෙසේ නමුත්, අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් ආරවුල් සම්බන්ධයෙන්, දිස්ත්‍රික්කයේ සෑම අස්සක් මුල්ලක් නෑරම සමාන කථා රාශියක් දුටු බවත්, එසේ සමාන තත්ත්වයන්ට මුහුණ දුන් සියලු දෙනාගේ හඬ වාර්තා චිත්‍රපටයට ගෙන ඒමට අවශ්‍ය වූ බවත්, ඒ නිසා එම හඬවල් මතු කර එය අම්පාර ජනතාවගේ පොදු ජීවිත ආඛ්‍යානයක් බවට පත් කිරීම සඳහා විසංයෝජන සංස්කරණ ක්‍රමය භාවිතා කරමින් මෙම චිත්‍රපටය නිර්මාණය කළ බවත්, අධ්‍යක්ෂවරිය පවසා සිටියා.
ඇගේ මෙම චිත්‍රපටය කොල්කටාවට විශේෂයෙන් වැදගත් වන බවත්, ඒ සංවර්ධන ක්‍රියාවලිය හා සම්බන්ධ ඉඩම් ආරවුල් පිළිබඳ ඉතිහාසයක් බෙංගාලයට ද ඇති හෙයින් බවත්, සඳහන් කළ අධ්‍යක්ෂවරිය පවසා සිටියේ ඒ හේතුවෙන් බෙංගාලයෙන් තම චිත්‍රපටය වෙත ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තමා පුදුම නොවන බවයි.
