රටේ ඉදිරි ආර්ථිකය ගැන ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශ්වාසයක් නෑ ! – දර්ශක සමීක්ෂණයකින් හෙළිවෙයි.

ව්‍යාපාරික ප්‍රජාව තුළ පසුගිය මැයි මාසයේ දී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තිබූ සුබවාදී අදහස් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් පහව ගොස් ඇති බවත්, නැවතත් ජුනි මාසයේ දී මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව දරන අදහස් වෙනස් වී ඇති බවත්, මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන එල්. එම්. ඩී සඟරාව පෙන්වා දෙනු ලබනවා.

ඒ අනුව එම සඟරාව දක්වනුයේ, ජුනි මාසයේ පළමු වැනි සතියේ දී සිදු කළ ව්‍යාපාර විශ්වාසනීය දර්ශක සමීක්ෂණයේ දී මෙරට ආර්ථිකය ඉදිරි මාස 12 ක කාලය තුළ ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බවට සුබවාදී අදහස් පළ කළ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවයි.

පසුගිය මැයි මාසයේ දී ඉදිරි මාස 12 දී මෙරට ආර්ථිකයේ ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇති බවට සුබවාදී අදහස් පළ කළ ප්‍රතිශතය 76 % ක් ව පැවති බවත්,  එය ජුනි මාසයේ දී 56 % දක්වා  20 % ක සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ වැටී තිබෙන බවත් එල්. එම්. ඩී සඟරාව පෙන්වා දී තිබෙනවා.

මෙරට ආර්ථිකය වර්තමානයේ පවතින මට්ටමේ ම ඉදිරි මාස 11 දී ද නො වෙනස්ව පවතිනු ඇතැයි විශ්වාස කරන පිරිස ජුනි සමීක්ෂණයේ දී  37 % දක්වා වර්ධනය වී තිබෙන බවත්, මැයි මසට සාපේක්ෂව එය සියයට 20 ක පමණ වර්ධනයක් බවත් පවසන සඟරාව,   7 %  ක ප්‍රතිශතයක් ඉදිරි මාස 12 ක කාලයේ දී ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කර සිටියා.

කෙසේ නමුත් ඉදිරි මාස 12 දී සිය විකුණුම් පරිමාව ඉහළ යනු ඇති බවට සුබවාදී අදහස් පළ කරන අලෙවි නිලධාරීන් පිරිස  83 %  ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව 9 % ක වර්ධනයක් බවත් එම සඟරාව පෙන්වා දෙනු ලැබූ අතර,  මාර්තු මාසයේ සිට මාස තුනක අඛණ්ඩ පහළ යෑමකට පසුව පසුගිය ජුනි මාසයේ දී සිය විකුණුම් පරිමාව පිළිබඳව අලෙවි නිලධාරීන් දරන සුබවාදී අදහස් මෙලෙස ඉහළ ගොස් තිබෙන බව ද එල්. එම්. ඩී සඟරාව පෙන්වා දුන්නා.

කෙසේ නමුත්,   16 % ක් සිය විකුණුම් පරිමාව නො වෙනස් ව පවතිනු ඇති බවට විශ්වාස කරන බවත්, එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව 8 % ක පහළ යාමක් බවත් එම සඟරාව විසින් පෙන්වා දුන් අතර, සහභාගී වූ අයගෙන් 69 % ක ප්‍රතිශතයක් පසුගිය මාසවල දී සිය විකුණුම් පරිමාව ඉහළ ගිය බවට ප්‍රකාශ කළ බවත්,  එය මැයි මාසයට සාපේක්ෂව සියයට 3 ක ඉහළ යාමක් බවත් අවසන් වශයෙන් සඳහන් කර සිටියා.

මූලාශ්‍රය – ලංකාදීප FT

Author

Related Posts