කතාව සහ ඡායාරූප තරිඳු උඩුවරගෙදර
පරිවර්තනය – ෆසීර් මොහොමඩ්
චෙම්මනි සුසානභූමිය කැණීම් සඳහා අධිකරණයට ගොස් නියෝගයක් ලබාගත් චෙම්මනි සිත්තුපාත්ති හින්දු සුසානයේ කමිටු සාමාජික වෛද්‍යලිංගම් කිරුබාකරන් ජීවත්වන නිවස වටා නාඳුනන වාහන සැරිසරා ඇතැයි වාර්තා වුණා.
කිරුබාකරන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීවේ මෙලෙස නාඳුනන වාහන සැරිසරන්නට හේතුව වන්නේ චෙම්මනි පිළිබඳ අදහස් මර්දනයට කියා විශ්වාස කරන බව. එමෙන්ම පොලීසිය හෝ වෙනත් ආයතන මෙම සුසානය නොතකා හරිද්දී තමන් මේ සිදුවීමට යුක්තිය ඉටු කරවාගැනීමට ඉදිරියට පැමිණි බව ඔහු පෙන්වාදුන්නා. මෙලෙස ඉදිරියට පැමිණි තමා වෙත යාපනයේ සිදු වූ හමුදා අතුරුදන්කිරීම්වල වින්දිතයන් පැමිණෙන බවත්, ඔවුන්ට සිදු වූ සිදුවීම් ගැන සාක්ෂ්‍ය ලබාදෙන බවත් ඔහු කීවා. සාක්ෂිකරුවන් බිය ගැන්වීම, සාක්ෂ්‍ය යටගැසීම මෙන්ම තමන්ව බිය ගැන්වීමට මෙවැනි ක්‍රියා සිදුකරන බව ඔහු කීවා.
මෙලෙස ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූවේ ජුලි 11 වැනිදායි. ඊට පෙර සති අන්තියේදී ඔහුව මුණගැසීමට අපට හැකි වුණා. මේ ඔහු සමඟ කළ කතාබහෙන් කොටසක්.
කිරුබා ඉතා කල්පනාකරී පුද්ගලයෙක්. අප අහන ඕනෑ ප්‍රශ්නයකට ඉතා කල්පනාකාරීව පිළිතුරු දෙන පුද්ගලයෙක්. චෙම්මනි මිනීවළ යළි මතුකරගත් කිරුබා කවුද? ඔහු මේ ගැන පැමිණිලි කිරීමෙන් අපේක්ෂා කළේ කුමක්ද? ඔහුගේම අදහස් දැක්වීමෙන් එය තේරුම්ගත යුතුයි.
ඔහු අරියාලෙයි ප්‍රදේශයේ ඉපදිලා, ඒ ප්‍රදේශයේම ජීවත් වුණ කෙනෙක්. ඔහු මුලින්ම විස්තර කළේ සුසානය මතු වූ හැටි. දෙමළ භාෂාවෙන් ඔහු කළ අදහස් දැක්වීම් පරිවර්තනය කර දුන්නේ මාධ්‍යවේදී ෆසීර් මොහොඩ්.
‘සිත්තුපාදි හින්දු සුසාන භූමියේ බලාගැනීම සඳහා කමිටුවක් තියෙනවා. ඒ කමිටුවේ මමත් ඉන්නවා. මෙය අරියාලෙයි ප්‍රදේශයේ ජනතාවට අයිති සුසාන භූමියක්. හින්දු සුසාන භූමියක් නිසා, ඒකේ සිදු කරන්නේ ආදාහනය පමණයි.
කාවහරි වළදමනවා නම් එක්කෝ උසාවි නියෝගයකින් වෙනවා. නැත්නම් පොඩි දරුවන්ව වළදැමීමක් කරනවා. ඒවා සිද්ධ වෙන්නේ සුසාන භූමියේ නැගෙනහිර කොටසේ බව සිහිතබාගන්න.‘
ඔහු එය දැඩිව අවධාරණය කරනවා.
‘මේ සම්බන්ධයෙන් සුසාන භූමිය බලාගැනීමේ කමිටුවේ නීතියේත් මේවා සඳහන් වෙනවා. ඒ වගේම අරියාලෙයි ප්‍රදේශයේ පරම්පරාවෙන්ම මේක සිදු කරමින් එනවා. මේ සුසාන භූමිය 1995 ඉඳලා 2011 දක්වා හමුදාව භාරයේ තිබුණු තැනක් බවත් සිහිතබාගන්න.‘
මේවා දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව වෙත නිදහස් නොකළ ඉඩම් බව කිරුබා අපට තදින් අවධාරණය කළා. කෙසේ වෙතත් පසුකාලීනව මෙය ජනතා භාරයට පත් වී තිබෙනවා.

‘පළාත් පාලන නීතියට අනුව සුසාන භූමි සංවර්ධනය කිරීම සහ පවත්වාගෙන යෑම ප්‍රාදේශීය සභා සතු කාර්යයක්.‘ යැයි කී ඔහු, වත්මන් සිදුවීමට පිවිසුණා.
‘2024 දී සුසාන භූමිය භාර කමිටුව ප්‍රාදේශීය සභාව එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. මේ සුසාන භූමියට තවත් ආදාහනය කිරීම සඳහා ස්ථානයක් ඉදි කිරීමට. ඒකට මිලියන පහක මුදල් අයවැයෙන් වෙන් කරවාගෙන කිරීමට ගිවිසුම්ගත වුණා. මෙය සිදු වුණේ 2024 දී.
ප්‍රාදේශීය සභාව ටෙන්ඩර් කෝල් කරලා පුද්ගලික ආයතනයකට ඉදිකිරීම භාර දුන්නා. 2025 පෙබරවාරි 10 වැනිදා ටෙන්ඩර් බාරගත්ත සමාගම එක්ක එතැනට ගිහින්, එහි ඉදිකිරීම් කටයුතු උත්සවාකාරයෙන් පටන් ගත්තා. 11 වැනිදා ඉදිකිරීමේ සාමාන්‍ය කටයුතු අදාල කටයුතු ආයතනය විසින් පටන් ගත්තා. එදා කණු හතරක් ඉදි කරන්න තැන් හතරක් හාරන්න පටන් ගත්තා. එතකොට පළවැනි කණුව නිර්මාණය කිරීම සඳහා බේස් එක දානකොට, අඩි දෙකකට ආසන්න ප්‍රමණයක් යනකොට මිනිස් සිරුරු කොටස් මතු වුණා.
හතරවැනි කණුව හාරනකොට අඩි භාගයක් යද්දීම අස්ථි කොටස් මතු වුණා.
මම කලින් කීවා, වළදැමීම් සිදු කරන්නේ නැගෙනහිර පැත්තේ. ඒත් මේ හැරීම් කටයුතු සිදු කළේ සුසාන භූමියේ නැගෙහිර ප්‍රදේශයේ නෙවෙයි. බටහිර ප්‍රදේශයේ. ඒ කියන්නේ භූමදාන සිදු නොකරන ප්‍රදේශයේ.‘
මෙය සිදු වුණේ චෙම්මනි ප්‍රදේශයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය මෙන්ම තමන් ඇතුළු පිරිස් විසින් ඇතිකරන ලද සමූහ මිනීවලවල් පිළිබඳ සෝමරත්න රාජපක්ෂ නම් වූ හමුදා නිලධාරියා සාක්ෂ්‍ය දුන් ස්ථාන ආසන්නයේමයි. ඉතින්, රජයේ ටෙන්ඩර් ලත් කැණීමකදී හමු වූ මෙය ක්ෂණිකව රජයේ අවධානයට ලක් විය යුතුව තිබුණා. එහෙත් සිදු වූයේ අනෙකත්.
‘අස්ථි කොටස් මතු වුණාම අදාල ආයතනය මේ කටයුත්ත කරන්න බෑ කියලා වැඩ නැවැත්වුවා. ප්‍රාදේශීය සභාවට දැනුම් දීලා ගිහින්. පසුවදා ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කියා තියෙනවා වැඩකටයුතු අත්හැරලා සමාගම ගිය බව. අපි බලාපොරොත්තු වුණා මේ ගැන ප්‍රාදේශීය සභාව නීති පියවරක් ගනීවි කියලා. ඒත් කිසිම පියවරක් ගත්තේ නෑ. අපේ සුසාන භූමියේ පාලක කමිටුවත් කිසිම පියවරක් ගැනීමට බය වුණා. ඒ නිසා මේ සම්බන්ධයෙන් යම් ප්‍රමාදයක් වුණා කිසිම පියවරක් ගන්නට.

ඒ වෙද්දී ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් හිටියේ නැහැ. රජයේ නිලධාරීන්. ඔවුන් දෙමළ අය තමයි. ඒත්, ඔවුන් මේ ගැන පියවරක් ගැනීමට රජයේ සේවකයන් විදියට බයක් දැක්වුවා. මම හිතන විදියට ඔවුන්ට බලපෑමක් ඇති. හමුදාවෙන් හෝ වෙන පැත්තකින්. මොකද, මම පැමිණිල්ල දානතුරු අඩු තරමේ ඒ තැනට පොලීසිය ඇවිල්ලාවත් බැලුවේ නැහැ. සමහරවිට ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සමහරවිට හිතන්න ඇති කනත්තක්. එතැන කොහොමත් ආදාහනය කරලා ඉතුරු වුණ කොටස් තියෙන එක සාමාන්‍ය දෙයක් විදියට හිතුවාද දන්නේ නැහැ.
එයින් පසු සෙනසුරාදා දවසේ මම තනිවම යාපනය පොලීසියට ගිහින් පැමිණිලි කරන්න උත්සාහ කළා. මා මතකයේ හැටියට පෙබරවාරි 15 වැනිදා. එදා පැමිණිල්ල ගත්තේ නෑ.‘
මිනී හමුවීමක් පිළිබඳ මෙතරම් බරපතල පැමිණිල්ලක් බාර නොගැනීමට පොලීසිය කියා ඇති හේතුව කුමක් විය හැකිද?
‘එදා ඇමති කෙනෙක් ආවා කියලා, එයාගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ කියලා පැමිණිල්ල බාරගත්තේ නැහැ.‘ කිරුබාගේ ප්‍රතිචාරය විය.
මතක තබාගන්න! දැන් බලයේ ඉන්නේ මාලිමා ආණ්ඩුව.
‘17 සඳුදා දවසේ ගිහින් පැමිණිල්ල බාරදුන්නා. එදා තමයි පැමිණිල්ල ලියාගත්තේ. ඒ පැමිණිල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත අද දක්වාම කැණීම් කටයුතු සිද්ධ වුණේ.
දැනට ළමයින්ගේ සිරුරු, කාන්තාවන්ගේ ඇඳුම් ආදිය මහාචාර්ය රාජ් සෝමදේව මූලිකත්වය ගත් කැනීම්වලදී හඳුනාගෙන තියෙනවා. මේ වෙද්දී ඔක්කෝම 40ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. 34ක් ගොඩගෙන තියෙනවා. බැලූ බැල්මට අවුරුද්දකට අඩුයි කියලා හිතාගන්න පුළුවන් ළමයින් හත්දෙනෙකුගේ සිරුරු කොටස් හමුවුණා. ළමයින්ගේ කියලා සැක කරන්න පුළුවන් තවත් සිරුරු දෙකක් ඇතුළු ළමා මළසිරුරු නවයක් විතර හමුවෙලා තියෙනවා.‘
ඔහු මෙසේ විස්තර කළේ අප ඔහු සමඟ කතා කළ දිනය වෙද්දී තිබුණු කරුණුයි. එහෙත් අප සැම දන්නා පරිදි තවත් සිරුරු කොටස් මේ වෙද්දී හමු වී තිබෙනවා.
අප ඔහුගෙන් විමසුවා මේ පිළිබඳ ඔහු ඉදිරිපත් වී පැමිණිලි කරපු හේතුව.
‘මේ ප්‍රදේශය ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිදුවීම සහ චෙම්මනි සමූහ මිනීවලවල් ගැන කරුණු කියැවුණු ප්‍රදේශයක්. ක්‍රිෂාන්තිව හමු වූ ස්ථානය මෙතැනට ඉතා කිට්ටුයි. මෙතැන අනිවාර්යයෙන් සමූහ මිනීවළක් ඇති කියා හිතුණා. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්නට මට යමක් කරන්න පුලුවන් කියලා හිතුවා.
මම මේ දිහා බලන්නේ උසාවියට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා කියන කරුණුත් එක්ක. මේ වෙද්දී හමු වූ සිරුරු කොටස් ඔක්කොම බලද්දී කිසිම සිරුරක ඇඳුම් කොටසක්වත් නෑ. ඒ කියන්නේ නිරුවත් කරලා, වෙනත් තැනක මරා දාලා වළදමා ඇති කියලා හිතෙනව. කිසිම සිරුරක ඇඳුම් කොටසක් තිබුණේ නැති බව අධිකරණ වෛද්‍යවරයා උසාවියට දන්වල තියෙනවා.
මම දැකපු විදියට බෑග් එක හමුවෙච්ච ස්ථානයේ තව කුඩා දරුවෙකුගේ ඇටසැකිලි හමු වුණා. එතැනදීත් දරුවාගේ ඇටසැකිල්ලේ ඇඳුම් තිබුණේ නෑ. ඊට උඩින් කාන්තා ඇඳුම් තිබුණා. ඒ සිරුරට ආසන්නයේදී මේස්, සෙරෙප්පු වගේ තිබුණ. ඒ ආසන්නයේ බෑග් එක හම්බවුණා. බෑග් එක හිස්. ඒ අසල තමයි සෙල්ලම් බඩු හම්බවුණේ. මම හිතන්නේ ඒ දැරියත් වධහිංසාවට ලක් වෙලා මැරුම් කාපු කෙනෙක් බව.‘
එයින් පසු ඔහු ඍජුව මා දෙස බැලුවා. මගේ ඇස් දෙස බැලුවා. මට යම් දුරකට දෙමළ භාෂාව වැටහෙන බව ඔහුට අවබෝධයක් තිබෙන්නට ඇති. ඔහු කියන කතාව ෆසීර් විසින් සිංහලට පරිවර්තනය කරද්දී ලැප්ටොප් පරිගණකයෙන් ටයිප් කරමින් සිටි මා සිංහල සමාජයට මේ කතාව ගෙනයන බව හිතන්නට ඇති. මට වැටහුණා, ඔහු මගේ දෑස් දෙස බලමින් කතා කරන්නට උත්සාහ කළේ සිංහල සමාජයට බව.
‘ඔබටත් දරුවන් ඇති. මේ කතාව අහන අයටත් දරුවන් ඇති. ඔවුන් මේ ඉරණමට මුහුණදීමට හේතුව දෙමළ වීම. මෙතැන සිදු වූ දේවල් බලද්දී. මේ වගේ ප්රවෘත්ති දකින, කියවන අයටත් දරුවන් ඇති. අවුරුද්දකට අඩු වයසැති මේ වෙද්දී හත් දෙනෙකුගේ සිරුරු හමුවෙලා තියෙද්දී ඔබේ ප්‍රතිචාරය මොකක්ද?
ඒ දරුවන්ට තමන් දෙමළද, වෙනත් ජාතිකද, ඒ කිසි දෙයක් ගැන අවබෝධයක් නෑ. ඒ දරුවන් ඝාතනය වෙන්නේ ඒගොල්ලන් දෙමළ වීම නිසා. මහාවාංශයේ පවා තියෙනවා දෙමළ ජනතාව ආදි කාලයේ සිට ලංකාවේ හිටියා කියලා. එහෙම තියෙද්දී දෙමළ වූ නිසා මේ දේවල් සිදු වුණේ කොහොමද?
සිංහල ජනතාවට දෙමළ අයට විරුද්ධව හැඟීම් අවුස්සලා දෙමළ අයව සතුරෙක් විදියට නිර්මාණය කිරීමේ ප්‍රතිඵලයක් තමයි මේක. දෙමළ ප්‍රජාවේ කෙනෙක් ලෙසත්, මේ සිදුවීමට අදාල පැමිණිලිකරු ලෙසත් සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සිදුවීම දිහා බුද්ධියෙන් බලන්න. සාක්ෂ්‍ය මත පදනම් වෙලා බලන්න. ජාතිවාදය මත පදනම් වෙලා බලන්න එපා කියලා ඉල්ලනවා.‘
එයින් පසු ඔහු අතීත කාලයට හැරුණා. සිදුවීම්වල ඉතිහාසය කියන්නට පටන් ගත්තා.
‘මම ඉස්කෝලේ යන කාලයේ තමයි මේ සිදුවීම් වුණේ. 1995 ඔක්තෝබර් 30 වැනිදා චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුව යාපනය අත්පත් කරගැනීමට හමුදාව එව්වා. අපේ පවුල වන්නිවලට ගිහින් වන්නිවල ජීවත් වුණා ඔය කාලයේදී. 2001 දී මම විශ්වවිද්‍යාලයට තේරී පත් වුණාමයි ආපහු යාපනයට ආවේ.‘
මේවා සිදුවෙද්දී කුඩා දරුවෙකු වුණත්, ඔහුට සමාජයේ බොහෝ කතා ඇසුරෙන් සිදු වූයේ කුමක්දැයි අවබෝධයක් තිබුණා. අනූ ගණන්වල සිදු වූ කතාන්දරය ඔහු ඒවා ඇසුරෙන් කීවා. ඔහු පෙන්වාදෙන්නට උත්සාහ කළේ, මෙය ජන සංහාරයක් ලෙස තමන් හඳුන්වන්නේ ඇයිද කියලායි.
‘ මම හිතන විදියට 1995 ඔක්තෝබර් 30 වෙද්දී හමුදාව එන්න කලින් ඔවුන් හොඳට ජීවත් වුණා. ප්‍රශ්නයක් තිබුණේ නෑ.
මේක සම්පූර්ණයෙන් බලන්න ඕනෑ 1995 සිට 2000 දක්වා කාලය විශේෂයි. ප්රජාතන්ත්රවාදී රටක තමන්ගේ මිනිස්සුව් පාලනය කරන්න ඕනෑ සිවිල් පරිපාලනයක් තුළින්. උතුරු නැගෙනහිර පළාත්වල හමුදා භාරයේ තිබුණු තැන්වලට ගියොත් තව දැනගන්න පුළුවන්. යාපනයේ, විශේෂයෙන් 1996 අප්‍රේල්- මැයි වෙද්දී හමුදා යටතට පත් වෙනවා. කිසිම සිවිල් කටයුත්තක් ඒ කාලසීමාවේ සිට සිද්ධවුණේ නෑ. හමුදාව ආපු ගමන් ඒ කිසිවක් වුණේ නෑ. හමුදා පාලනයක් ක්‍රියාත්මක වුණා.
සිවිල් කටයුතු ඔක්කෝම හමුදාව බාරගත්තාට පස්සේ මෙහේ කිසිම සිවිල් කටයුත්තක් අනෙක් පළාත්වලට සාපේක්ෂව සිද්ධවුණේ නෑ. සිවිල් කටයුතු සිද්ධ වෙන්නේ හමුදාව විසින්. පොලීසිය තිබුණත් පැමිණිලි බාරගත්තේ හමුදාව. ඒ කටයුතු සිද්ධවුණේ නෑ. අධිකරණය තිබුණත් ඒවා ක්‍රියාත්මක වුණේත් මන්දගාමීව. හැමදාම ඇඳිරි නීතිය දාලා තිබුණේ. කොහේහරි යනවා නම්, පාස් එකක් ගන්න ඕනෑ නම් හමුදාව ළඟට යා යුතුයි. ඔවුන් තමයි සිවිල් පාලනය සිද්ධ කළේ.
මෙහෙම අවස්ථාවක, මෙහේ අතුරුදන්වූවන් බොහොමයක් එක්කෝ ප්‍රධාන පාරවල්වල ගමන් කරපු අය. චෙක්පොයින්ට්වල නවත්වලා ඒ භාරයට ගත් අය. නැත්නම් එකපාර ඇවිල්ලා පරීක්ෂා කරනවා කියලා වොරන්ට් එකක් නැතිව අල්ලාගත් අය. නැත්නම් සුදුවෑන්වලින් ගෙනියලා අල්ලාගත් අය. මේ විදියටයි මෙහේ මිනිස්සු අතුරුදන්වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව මෙහේ සිවිල් කටයුතු නොතිබීමය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, මහජන ආරක්ෂක ආඥාපනත වගේ පනත්වලින් සම්පූර්ණයෙන්ම හමුදාවට බලය දීලා තිබුණා. එතැනින් බලය පාවිච්චි කරද්දී මේ ආකාරවලින් තමයි මිනිස්සු අතුරුදන් වුණේ.‘
මේ සංහාර තත්වයට පසුබිම් වූ නීතිරීති මෙන්ම ඇතැම්විටක පුද්ගලික පළිගැනීම් පවා තිබුණු බව ඔහු පෙන්වුවා.
‘බොහෝදුරට මුදල් පදනම් කරගත්ත, වෙනත් වුවමනාවන් මත පදනම් කරගත්ත දේවල් වෙලා තියෙනවා. 1995 සිට 2000 දක්වා 3000ක විතර පිරිසක් අතුරුදන්වෙලා ඉන්නවා. විවිධ අවශ්‍යතා මත මේවා සිදු වූ බව කියනවා. කාන්තාවන්, දරුවන්, වැඩිහිටියන් යනාදී බොහෝ අය ඉන්නවා. සම්පූර්ණ බලය හමුදාවට දුන්නාට පස්සේ හමුදාවේ උසස් නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන් දක්වා අවශ්‍යතාව මත තමයි ඔක්කෝම සිද්ධ වෙන්නේ.‘
දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාතිය ගැන කියනවා. කරුණු හතරක් පදනම් කරගෙන. භූමිය, ජනතාව, ආණ්ඩුව, සංස්කෘතිය, දේශපාලන අභිලාෂයක් තියෙනවා නම් ජාතියක් විදියට පිළිගන්නවා. ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමට ලංකාව වෙනුවෙන් අරගල කරපු අය අතරේ දෙමළ, සිංහල, මුස්ලිම් හැමෝම එකතු වුණා. ඒ ශ්‍රී ලංකාවේ නිදහස උදෙසා.
ඒත් සෝල්බරි ව්‍යවස්ථාවෙන් 1948 දී නිදහස දුන්න වෙලාවේ සියලු බලතල එක ජාතියක් අතට ලැබෙන විදියට සිද්ධ කරලා තියෙනවා.
ලංකවේ ඉතිහාසය දිහා බලද්දී උතුරු- නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාව බහුතරයක් ඉඳලා තියෙන්නේ. නැගෙනහිර සීයට එකක් විතර සිංහල අය හිටියා. දැන් තියෙන දත්ත දිහා බැලුවාම නැගෙනහිර සීයට 26ක් සිංහල අය ඉන්නවා. උතුරේත් සෑහෙන පිරිසක් ඉන්නවා. තමන්ගේම භූමිය, තමන්ගේම භාෂාව, දේශසීමාවක්, දේශපාලනයක් සහ ආර්ථිකයක් තියෙනකොට ජාතියක් විදියට පිළිගන්න බව කීවා. ඒ නිර්නායක පිළි නොගෙන තමයි එදා ඉඳන් අද දක්වාම ආණ්ඩු වැඩ කරන්නේ. 2009 න් පස්සේ බැලුවාම, ඒකම තමයි සිද්ධ වෙන්නේ. අනුර කුමාර දිසානායක ආණ්ඩුව කරන්නේත් ඒකයි.
දෙමළ, සිංහල ජනතාව එකට ජීවත් වෙන්න තමයි කැමැත්තෙන් ඉන්නේ. හැබැයි ජාතිවාදී කොටස් සහ ආණ්ඩු බලයේ ඉන්න අය එකතුවෙලා තමයි දෙමළ හා සිංහල ජනතාව අතර ගැටුම් ඇති කරන්නේ. ථෙරවාද බෞද්ධ ආගමික රාජ්‍යයක් බවට ලංකාව පත් කරන්නයි ඔවුන්ට ඕනෑ.‘
ඔහු එය පෙන්වාදෙමින් මේ රටේ සියලුදෙනා සිටින බව සිහිපත් කරනවා.
‘චෙම්මනි සමූහ මිනීවළ වගේ දේවල් සිද්ධවෙන්නේ මෙවැනි දේවල් උඩ. මේ විතරක් නෙවෙයි, අනාගතයේදීත් වෙන්න පුළුවන්. සෝමරත්න රාජපක්ෂ 1998 ජුලි වලදී ක්‍රිෂාන්ති කුමාරස්වාමී නඩුවේදී වෙච්ච දේ කීවා. අපි නෙවෙයි ඔවුන් තමයි කියන්නේ.
ක්රිෂාන්තිට යුක්තිය ඉටු කළ කීවාට ඒකත් එක්ක මම එකඟ වෙන්නේ නෑ. මුලින්ම ක්‍රිෂාන්තිගේ සිදුවීමට 11 දෙනෙක් සම්බන්ධ බව කරුණු හෙළිවුණා. 9 දෙනෙක් අත්අඩංගුවට පත් වුණා. හය දෙනෙකුට විතරයි නඩු පැවරුවේ. මම හිතන විදියට ඒ හයදෙනාගෙන් සෝමරත්න රාජපක්ෂ මුලින් අනෙක් මිනීවළවල් ගැන කිව්වේ නැහැ. ඒවා හංගාගෙන හිටියා.
ඒත් නඩුව ඉවරවෙලා දඬුවම් ලැබුණාම, තමන්ව ආණ්ඩුව ආරක්ෂා කළේ නැති බව දැනගත්තාම, තමන්ව බිල්ලට දුන්නා කියලා දැනගත්තාම ඔහු අනෙක් මිනීවළවල් ගැන හෙළිකළා. නැත්නම් කියන්නේ නැහැ.
එහෙත්, ඔහු එහිදී හෙළිකරපු අය අතරින් ලලිත් හේවා පුංගම්කුලම් හමුදා කඳවුර බාරව හිටපු කෙනා. ඔහුට විරුද්ධව කිසිදෙයක් කළේ නෑ.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ගැන ගමේ තියෙන කතාබහක් තියෙනවා. මේක ඔබ හිතනවාට වඩා දරුණු කතාවක්.
උසාවියේදී ගිය නඩුවේදී කිව්වේ ක්‍රිෂාන්තිව අදාල කෑම්ප් එකේ හිටපු හමුදා සොල්දාදුවන් පැහැරගෙන දූෂණය කරලා මරලා දැම්මා කියන එක.
ඒත් ගමේ තියෙන කතාව තමයි ඊට දවස් දෙකතුනකට කලන් පුංගුම්කුලම් හමුදා කඳවුර ආසන්නයේ කනහනාදන් ඥානන්දි කියන ක්‍රිෂාන්තිගේ යෙහෙළිය හමුදා ට්‍රක් එකකින් හප්පලා මැරුවා. ඒකට විරුද්ධව ක්‍රිෂාන්ති හමුදාවට විරෝධය පෑවා. ඒකට විරුද්ධව කතා කළා. ලලිත් හේවා ඒකට වගකියන්න ඕනෑ බව විශ්වාස කරනවා. ඒ සිදුවීමත්, ක්‍රිෂාන්තිගේ සිදුවීමත් අතර සම්බන්ධයක් තියෙන බව අදටත් විශ්වාස කරනවා.
ක්‍රිෂාන්තිව අදාල කඳවුරේ හිටපු අය අත්අඩංගුවට හෝ භාරයට ගත්තේ උදේ එකොළහයි ගාණට. දවල් දෙක විතර වෙනතුරු ඒ ස්ථානයේම තියාගෙන හිටපු බව දැකලා තියෙනවා. මම විශ්වාස කරන්නේ, කාගේ හෝ නියෝගයක් එනතෙක් ඇයව තියාගෙන හිටපු බව. ලැබුණාට පස්සේ තමයි මේක කළේ කියලා මම හිතනවා.
බිරිඳක් සහ සැමියෙක් කුඹුරේදී මරපු සිදුවීමක් රාජපක්ෂ හෙළිකළා. ඒ මිනීමැරුම කළේ ලලිත් හේවා. ඔවුන් වැඩ කරගෙන ඉද්දී උදැල්ලෙන් ගහලා මැරුවා. සැමියා ඉදිරියේ බිරිඳව දූෂණය කරලා ගහලා මැරුවේ. තවමත් ඒ ස්ථානය හඳුන්වන්නේ අරියාලෙයි ප්‍රදේශයේ සී වධහිංසා කඳවුර කියලා. ඒක භාරව හිටපු පෙරේරා කියන නිලධාරියා තවම ඉන්නවා.
නවක්කුලම් කඳවුර, ජයා බිල්ඩිමේ කෑම්ප් එක, පුංගම්කුලම් කෑම්ප් එක තුන්ඩි හන්දියේ තිබුණු කඳවුර ආදී ස්ථනවල තමයි මිනිස්සුන්ට වධහිංසා කළේ. කාන්තාවන්ව දූෂණය කරලා, වධහිංසා කරලා සමහර අයව ඝාතනය කළෘ. එතැනින් බේරුණ අයව තමයි සුභාෂ් හෝටලයේ හිටපු මිලිටරි පොලීසියට හමුදාව භාර දුන්නේ. සුභාෂ් හෝටලයේ මිලිටරි පොලීසියට භාරදුන් අය පලාලි කඳවුරට දුන්නා. සමහර අයව තියාගෙන හිටියා. මිදිලා ආපු සමහර අයත් ඉන්නවා. චෙම්මනි සහ නාවක්කුලි කියන තැන් දෙකේම පුද්ගලයන් අතුරුන් වුණා.

චෙම්මනි යාපනයට ඇතුළුවන ස්ථානයක් හැටියට හඳුන්වන නිසා. එතැන පාරෙන් ගියපු අයවත් පැහැරගැනීමට ලක්වෙලා තියෙනවා.
සෝමරත්න රාජපක්ෂ මීට කලින් නිදහස් වෙන්න ඉඩ තිබුණු කෙනෙක්. මිරුසුවිල් සිදුවීමට අදාලව සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලැබුණා. මොකද ඔහු සියලු ඝාතන තමන්ම භාරගත්තා කාවවත් පාවාදුන්නේ නැහැ. රාජපක්ෂ උසස් නිලධාරීන් ගැන කිව්ව නිසා තමයි ඔහුට සමාවවත් ලැබුණේ නැත්තේ.
යම්කිසි ප්‍රදේශයක සිටින හමුදා කඳවුරක ඉන්න හමුදා නිලධාරියා විධායක ජනාධිපතිගේ බලතල පාවිච්චි කරනවා. එයා විධායකයා. එවැනි තත්වයක් තිබුණේ. ඒවා ගැන කිසිම පැමිණිල්ලක් බාරගත්තේවත් නෑ.
ඇත්තටම 2002 න් පස්සේ සාමය කාලයෙන් පස්සේ මේ සම්බන්ධයෙන් යම් අය අධිකරණයට ගියා. ඒත්, පස්සේ ඒ අධිකරණ කටයුතු කල් දැමීමක් පමණයි සිද්ධ වුණේ. පස්සේ නීතිපතිවරයාට යැව්වා. නීතිපති ෆයිල් තියාගෙන ඉන්නවා. අදටත් නීතිපති යටතේ ෆයිල් තියෙනවා. කිසිදෙයක් වුණේ නෑ.
උදාහරණයක් විදියට 1999 ජුනිවල ක්‍රිෂාන්තිගේ සිදුවීමෙන් පස්සේ චෙම්මනිවල කැණීම් කටයුතු කළා. සිරුරු 15ක් විතර හොයා ගත්තා. දෙදෙනෙකුගේ සිරුරු හඳුනාගත්තා. සතිෂ් සහ සුදා කියන මැකැනික්ලා දෙන්නාගේ සිරුරු හඳුනාගත්තා. 1996 අතුරුදන් වුණ අය. අඩු තරමේ ඒ දෙදෙනා සම්බන්ධ නඩු පවා තවමත් විභාග කරලා අවසන් නැහැ. තවමත් ඒවා කල් දමමින් ඉන්නවා.
මම දකින්නේ. නඩු ඇදගෙන යනකොට සාක්ෂිකරුවන් මැරිලා යනවා. ඒවා ඔප්පු කරන්න බැරිවෙනවා. ඉන් එහාට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි කල් ඇදගෙන යන්නේ. අතුරුදන්වූවන් පිළිබඳ සිදුවීම්වලට වගකියන්න ඕනෑ ප්‍රධානම කඳවුර 7 සී එල්ඒ කියන කඳවුර. එතැන 14 දෙනෙකුට චෝදනා එල්ලවුණා. ශෂික, නාලක, පෙරේරා, චන්දන කියන නිලධාරීන් වගකිව යුතු බවට තොරතුරු තිබුණා. කිසිම යුක්තියක් ඉටුවෙලා නෑ.

මේවා අනිවාර්යයෙන් හුදෙකලා සිදුවීම් නෙවෙයි. අවුරුද්දක වයසේ අතදරුවන් පවා හිටියා. ඔවුන් කතා කරන්නවත් දන්නෑ. භාෂාව දන්නේත් නෑ. එහෙම දරුවන්ව නිරුවත් කරලා මරන්න තරම් හේතුව මොකක්ද? එකම හේතුව ඒ අය දෙමළ වීම.
මා හිතන්නේ මේවාට හුදෙක් හමුදා නිලධාරීන් පමණක් නෙවෙයි වගකියන්න ඕනෑ. මේවා ආයතනගතව කරපු අපරාධ.
අනෙක අතුරුදන්වූවන්ගේ ප්රශ්නය විතරක් බලන්න එපා. ජනසංහාරයක් සිදු වුණාය කියන එක බලන්න ඕනෑ තවත් කරුණු එක්ක.
දෙමළ මිනිස්සු ඉන්න තැන්වල පන්සල් හදන එක. සිංහල මිනිස්සුන්ව අරගෙන ඇවිල්ලා පදිංචි කරන එක. දෙමළ මිනිස්සුන්ගේ ධීවර කටයුතුවලට බාධා කරන එක. ධීවර සම්පත් කොල්ලක එක යනාදී ඔක්කොම බලද්දී අවසානයේදී ජන සංහාරයක් වෙනවා කියන එක තමයි කියැවෙන්නේ. ජාතියක් ක්‍රමානුකූලව දුර්වල කරලා විනාශ කරලා දානවා.
මේක විතරක් අදාල වෙන්නේ නැහැ. භාෂාව, රාජ්‍ය පරිපාලනයේ ගැටලු යනාදී තව බොහොම දේවල් එක්කයි අපි ජන සංහාරයක් ගැන කියන්නේ.
රජයෙන්, හමුදා උසස් නිලධාරීන් ඉන්නව, පළාත් භාර නිලධරීන් වගේ ධුරාවලියෙන් තමයි මේවා වෙන්නේ. ඒත් අන්තිමට වගකීම තියෙන්නේ රජයට. එ නිසා අපි විශ්වාස කරන්නේ රජය වගකියන්න ඕනෑ කියන එක. විසඳුම තමයි වගකියන්න ඕනෑ රජයම යුක්තිය ඉටු කරයි කියලා බලාපොරොත්තු වෙන්නෑ.
ඒ නිසයි ජාත්‍යන්තර වශයෙන් යුක්තිය ඉල්ලන්නේ. ඒත්, ජත්යන්තරයටත් භූදේශපාලන අවශ්‍යතා තිබුණා. චෙම්මනි අනූ ගණන්වලදී කැණීම් කරද්දී ජාත්‍යන්තර සහයෝගය ඇතිව කැණීම් කළා. රජය කිව්වාම කැණීම් ඉවරයි කිව්වාට පස්සේ ජාතන්තරයෙන් ඒ වාර්තාව පිළිගන්නවා. ඒත්, අද සිරුරු හමුවෙන්නේ එදා කැණීම් කරපු තැනින් මීටර 50- 100 දුරින්. එතකොට එදා ඉවරයි කිව්ව වාර්තා අපට පළිගන්න පුළුවන්ද?
මම කියන්නේ ජාත්‍යන්තරයත් වැඩ කරන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන්. මේකට විසඳුමක් වෙන්න ඕනෑ සිංහල ජනතාව අතරේ මේ සිද්ධවෙච්ච දේවල ගැන සංවේදීත්වයක් ඇති වෙන්න වුණොත් විතරයි. සිංහල ජනතාව වෙනස් වෙන්න ඕනෑ. සිංහල ජනතාවට තියෙන අයිතියම දෙමළ ජනතාවටත් ලැබෙනවා නම් එදාට තමයි විසඳුම ලැබෙන්නේ.
විජය කුමාරයා ආවේ ක්‍රිස්තු පූර්ව හාරසිය ගණන්වලදී. නාග යක්ෂ ගෝත්‍ර ඒ කාලයේත් එකට ජීවත් වුණා නම් දැන් බැරි ඇයි. මෙතැන බලය සමාන ලෙස දෙමළ ජනතාවටත් ලැබිය යුතුයි.‘
