ශ්‍රී ලංකාව වෙත පනවා ඇති අසාධාරණ තීරුබදු ප්‍රතිශතය සීයට 30 දක්වා අඩු කර ඇතත්, ශ්‍රී ලංකාව සමඟ තරගකාරී අනෙක් රටවල් සමඟ සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට අවාසියක් ඇතැයි දත්ත අනුව පෙනී යයි.
ශ්‍රී ලංකාවේ අපනයනවලට තරගකාරී රටවල් අතරින් බංග්ලාදේශය සහ සහ කාම්බෝජය වෙත සීයට 35 සහ සීයට 36ක බදු පනවා තිබීම වාසිදායක තත්වයක් වන නමුත් වියට්නාමය සහ ඉන්දියාව යන රටවල්වලට ශ්‍රී ලංකාවට වඩා දැඩි වාසිදායක තත්වයක් ඇතිව තිබේ. වියට්නාමය සමඟ සාකච්ඡා පවතින අතර, යෝජනා වී තිබෙන්නේ වියට්නාමයට සීයට 20ක තීරුබදු පැනවීමටය. ඉන්දියාවට සීයට 26ක තීරුබදු යෝජනා වී තිබේ. ශ්‍රී ලංකාව වාසිදායක තත්වයකට ළඟා වීමට නම් සීයට 25 හෝ ඊට අඩු ප්‍රමාණයක් දක්වා පැමිණිය යුතු බව විශේෂඥයෝ කියති.

මේ අතර, බංග්ලාදේශයට ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි තීරුබදු ප්‍රතිශතයක් පවතින පසුබිමක ඔවුන් යුරෝපීය වෙළඳපළට වැඩි අවධානයක් යොමු කනු ඇතැයි විශේෂඥයන් පෙන්වාදෙයි. ඒ අනුව යුරෝපීය වෙළඳපළේදී ශ්‍රී ලංකාවට බංග්ලාදේශය සමඟ තරගයකට මුහුණදීමට සිදුවනු ඇති බවත්, තීරුබදු සහන සහිතව එම තරගයේදී බංග්ලාදේශයට වැඩි වාසි ලැබෙනු ඇති බවත් අනුමාන කෙරේ.
2024 දී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනවලින් ඩොලර් බිලියන 4.7 න් 40% ක් පමණ එක්සත් ජනපදයට අපනයනය කර ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ගැනුම්කරු වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. 2024 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට ඇඟලුම් අපනයනය තුළින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක ආදායමක් උපයාගෙන ඇත. මෙය 2019 වසරට සාපේක්ෂව 19.4% ක පහළ යාමක් වුවත්, 2023 වසරට සාපේක්ෂව 5.23% ක වර්ධනයකි.
ශ්‍රී ලංකාවේ මුළු අපනයනයෙන් ආසන්න වශයෙන් 25% ක් ඇමරිකා එක්සත් ජනපදයට සිදු කර තිබේ. විශේෂයෙන්ම, ඇඟලුම් අපනයනයෙන් 40% ක් පමණ සහ රබර් නිෂ්පාදනවලින් 30% ක් පමණ ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කර ඇත. 2024 වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට රුපියල් මිලියන 939,973 ක වටිනා භාණ්ඩ අපනයනය කර ඇති බවද වාර්තාවල සඳහන්ය.
එවැනි පසුබිමක අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට සීයට 44ක බදු පැනවීම මෙරට අපනයන කර්මාන්තවල සහ විදේශ විනිමය ඉපයීමට විශාල බලපෑමක් විය. ඒ අනුව ඇමෙරිකාවට මෙතරම් අපනයන සිදු කිරීම වෙනුවට විවිධ වෙළඳපළවල් සොයාගැනීමේ අවශ්‍යතාව ඉස්මතු විය.
දැනට පවතින තොරතුරු මත පවා ආර්ථික විශේෂඥයන් පෙන්වාදෙන්නේ විශාල රැකියා ප්‍රමාණයක් අහිමි වීම මෙන්ම කර්මාන්තකරුවන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත වසා දැමීම සිදු විය හැකි බවයි. විශේෂයෙන් දැනට ශ්‍රී ලංකාවට තරගකාරී ලෙස ඇඟලුම් නිෂ්පාදනය නොකරන නමුත්, තීරුබදු ප්‍රතිශතය අඩු ඇතැම් රටවල්වලට කර්මාන්ත රැගෙන යෑමට ආයෝජකයන් කටයුතු කළ හැකි බවත් එම විශේෂඥයන් පෙන්වාදෙයි.
මෙරට රැකියා දසදහස් ගණනක් අහිමි වීම මෙන්ම, විදේශ විනිමය අහිමිවීමේ අවදානමක් ඔවුන් පෙන්වාදෙයි.
එහෙත්, මාස කිහිපයකට පසු ජුලි 10 වැනිදා මේ ගැන විකල්ප වෙළඳපළවල් පිළිබඳ සෑහීමට පත් විය හැකි නිශ්චිත පිළිතුරක් ලබා දීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයෙකු ලෙස පෙනී සිටිමින් ආර්ථිකය හසුරුවන මෙරට ව්‍යාපාරික පැළැන්තියේ නියෝජිතයාට නොහැකි විය.
විකල්ප හඳනාගෙන තියෙනවාද? වෙන විකල්ප වෙළඳපලවල් සොයනවාදැයි විමසූ අවස්ථාවේදී ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති, ජනාධිපතිවරයාගේ ආර්ථිකය පිළිබඳ උපදේශක හුලංගමුව මහතා ලබා දුන්නේ ඉතා අවිනිශ්චිත සහ දියාරු ප්රතිචාරයකි. ඔහු මෙසේ පැවසීය.
‘නව වෙළඳපළවල් සොයාගැනීම එක රැයින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉල්ලුම් වෙළඳපළ, ප්‍රමිතිය යනාදිය එක වෙළඳපළකින් අනෙකට වෙනස්. ඇඟලුම් කර්මාන්තය ඒ මට්ටමට ඇවිත් නෑ. වෙනත් වෙළඳපොළකට යොමුවීම අසීරුයි. අපි කතා කරන්නේ මිලියන 10- 15 වෙළඳපළවල් නෙවෙයි. බිලියන 3ක පමණ වෙළඳපළවල් ගැන. එක රටකින් අනෙක් රටකට එක රැයින් මාරු වෙන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. බදු ප්රශ්නය නැතත්, අපි අපනයන විවිධාංගීකරණය කළ යුතුයි. නිෂ්පාදකයන් මෙම අවදානම සැලකිල්ලට ගනිමින් කටයුතු කළ යුතුයි.‘
මුදල් අමාත්‍යාශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පිළිතුරු ලෙස මෙසේ ප්‍රකාශ කළේය.
‘අපට කුමන තත්වයක් යටතේ වුණත් නව වෙළඳපළවල් සොයාගත යුතුයි. අපි ආරම්භ කළ ව්‍යපෘතියක දිගුවක්. මේ වෙද්දී අපනයන ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන නව වෙළඳපළවල් සොයාගැනීමට උත්සාහ කරනවා. එම ක්‍රියාවලිය සමාන්තරව යනවා. මෙවැනි තත්වයන් ඇති විය හැකියි. රටක් ලෙස අපව ලෑස්ති කරගත යුතුයි. අපේ අපනයන ප්‍රමාණය වර්ධනය කරගත යුතුයි. වෙළඳ අමාත්‍යාශය, ආයෝජන ඒජන්සි හරහා නව වෙළඳපළවල් සොයාගැනීමට කටයුතු කරනවා.‘
