ඉන්දු – ලංකා ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝ වට මේස සාකච්ඡාවක

නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, සැපයුම්, පුනර්ජනනීය බල ශක්තිය, අධ්‍යාපනය සහ සංචාරක වැනි අංශ වල ඉන්දියානු කර්මාන්ත සම්මේලනය නියෝජනය කරන ඉහළ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් සමග මෙරට ව්‍යාපාරික නායකයන් පිරිසක් පෙරේදා (30) කොළඹ රත්නදීප හෝටලයේ දී උපාය මාර්ගික වට මේස සාකච්ඡාවක් පැවැත් වූ බව වාණිජ මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

මෙම වට මේස සාකච්ඡාව ලංකා වාණිජ මණ්ඩලය සහ ඉන්දු – ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමග එක්ව සංවිධානය කළ බවයි වාණිජ මණ්ඩලය පවසා සිටියේ.

වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසට එම මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා නායකත්වය ලබා දී ඇති අතර ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ නියෝජිත පිරිසට මෙරට රත්නදීප හෝටලයේ හිමිකාරිත්වය දරන අයි.ටී.සී සමාගමේ සභාපති මෙන්ම කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සංජිව් පූරි මහතා නායකත්වය ලබා දී ඇති බව සඳහන් වනවා.

වෙළෙඳ පහසුකම් වැඩිදියුණු කිරීම,  නියාමන රාමු පෙළගැස්වීම, දෙරට අතර ආයෝජන ප්‍රවාහ දිරිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වූ බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

මෙම අවස්ථාවට දෙරටේ නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද සහභාගි වුණා.

මූලාශ්‍රය – ලංකාදීප FT

Author

Related Posts