ඩිජිටල් ගනුදෙනුවලට හුරු වීමෙන් 2030 වන විට රුපියල් බිලියන 450 ක් මූල්‍ය පද්ධතියට – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි‍.

ජිමුත් ඉඳුසර රත්නායක

ශ්‍රී ලංකාවේ වර්තමානයේ දී සංසරණය වන රුපියල් ට්‍රිලියන 1.3 ක මුදල් ප්‍රමාණයෙන් තුනෙන් එකක් එසේත් නැතිනම් ප්‍රතිශතයක් ලෙස 35 % ක් ඩිජිටල් ගෙවීම් වලට අනුගත වීමෙන් ඉතිරි කර ගත හැකි වුවහොත් මෙරට මූල්‍ය පද්ධතියට එකතු වන එම මුදල නැවතත් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට ණය ලෙස ලබා දිය හැකි බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, එළඹෙන සැප්තැම්බර් මාසයේ දී බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ෆින්ටෙක් සමුළුව පිළිබඳ ව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේ දී ඊයේ (25) ප්‍රකාශ කර සිටියා.

රුපියල් ට්‍රිලියන 1.3 න් සියයට 35 ක් යනු රුපියල් බිලියන 450 ක් බව පෙන්වා දෙමින් ඔහු සඳහන් කළේ කලාපයේ අනෙක් රටවල් සමග සංසන්දනය කිරීමේ දී මෙරට සංසරණය වන මුදල් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස ඉතාමත් ඉහළ බවයි.  

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මුදල් සංසරණය හැකි තාක් අඩු කොට මූල්‍ය පද්ධතියට හැරවීම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් ව ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරමින් පවසා සිටියා‍.

වත්මන් රජයේ ඉලක්කය වී ඇත්තේ 2030 වසර වන විට ඩිජිටල් ගනුදෙනු ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කර ගැනීම බවත්, වර්තමානයේ එම ඩිජිටල් ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ රජයේ එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මූල්‍ය සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිත කිරීම සහ ඩිජිටල් කරණය ප්‍රධාන සාධක බව පවසමින්.

ඉලක්ක ගත සාර්ථකත්වය සඳහා ළඟා වීමට නම් රජය, මහ බැංකුව, අනෙකුත් මූල්‍ය ආයතන හා මූල්‍ය සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිතා කරන සමාගම්, නවෝත්පාදන විසඳුම් සපයන්නන්, වෘත්තිකයන් මෙන් ම මහ ජනතාවගේ ද සහයෝගීත්වය ඒ සඳහා අත්‍යාවශ්‍ය බව ද එහි දී පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාව හොඳ සම්ප්‍රදායික බැංකු පද්ධතියක් තිබෙන රටක් බවත්, මෙරට බැංකු පද්ධතිය විශාල පිරිසක් විසින් භාවිත කරන බවත්,  සම්ප්‍රදායික බැංකු පද්ධතියක් සමග අප ඉදිරියට යන විට කෙසේ හෝ මූල්‍ය සේවා සැපයීම සඳහා තාක්ෂණය භාවිත කිරීම මෙන් ම ඩිජිටල්කරණය යම් තාක් දුරකට මග හැරී ඇති අතර, ඒ හේතුවෙන් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද සඳහා ජනතාව යොමු කිරීම මන්දගාමී වී තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කරමින් සඳහන් කළා.  

දශකයට පෙර අපට සාපේක්ෂව ආර්ථික වශයෙන් පසුපසින් සිටි ඇතැම් සිටි රටවල් මේ වන විට ශ්‍රී ලංකාව පසු කර ගෙන බොහෝ දුරක් ගොස් ඇති බවත්,  ඩිජිටල් ආර්ථිකය වර්ධනය කර ගැනීමේ දී එම රටවල් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඩිජිටල් ගෙවීම් සඳහා අනුගත වීමට නම් මහ ජනතාවට ඒ පිළිබඳ ව නිසි දැනුමක් ලබා දිය යුතු බව ද අවධාරණය කළා.

ඩිජිටල් ගෙවීම් යනු මෘදුකාංග සහ යෙදුම් වලින් කැඩී එන කොටස් එකතු වී සෑදෙන්නක් බවට නො සිතිය යුතු බවත්,  ඩිජිටල් ගෙවීම් යනු මූල්‍ය පද්ධතියේ කොටසක් බවත්, ජනතාවට, ඩිජිටල් ගෙවීම් සඳහා අවතීර්ණ වීමට ඒ සඳහා හොඳ විසඳුම් ලබා දිය යුතු බවත් ඔහුගේ ප්‍රකාශයේ අන්තර්ගත වුණා.

මෙරට ඩිජිටල් ආර්ථික ඉලක්කය සපුරා ගැනීමට පරිසරය සැකසීමේ දී QRකේත, ප්‍රවාහන පහසුකම් සඳහා ගෙවීම් සිදු කරන කාඩ්පත්, පුද්ගලයන් අතර මුදල් හුවමාරු කර ගැනීමට භාවිත කරන විසඳුම් ඇතුළු සෑම පැතිකඩක් ගැන ම සොයා බැලිය යුතු බව පවසමින් ඩිජිටල් ගෙවීම් සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීමෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමටත්, මූල්‍ය පද්ධතිය තුළ වංචා, දූෂණ නැති කිරීමටත් අවශ්‍ය පසුබිම මේ වන විටත් සකස් කරමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඩිජිටල් ගෙවීම් වල දී භාවිත කරනු ලබන ඩිජිටල් ලෙජරයන්ගේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගත යුතු බවත් එමගින් ජනතාවට ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් වනු ඇති බවත්, ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීමෙන් ක්ෂුද්‍ර මූල්‍ය ගෙවීම් ඩිජිටල් ගෙවීම් හරහා කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙරට ඩිජිටල් ගෙවීම් පද්ධතිය නැවත දියත් කිරීමේ දී එම කරුණ සලකා බැලිය යුතු බව සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසුවේ නැවත දියත් කිරීම ලෙස හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට මේ පිළිබඳ ව කතා කරන නිසා බව ය.

ඉන්දියාවේ සියයට 90ක් ගෙවීම් සිදු වන්නේ ඩිජිටල් ගෙවීම් හරහා බවත්,  සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් ගෙවීම් සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ඩිජිටල් ගෙවීම් හරහා බවත් ඔහු උදාහරණ දක්වමින් පැහැදිලි කළා.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට උත්සාහ දැරුවත් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම මන්දගාමී වී ඇත්තේ ඇයි දැ යි සොයා බැලිය යුතු බව දක්වමින් 2030 වසරේ වන විට තමන් බලාපොරොත්තු වන ඉලක්කය සපුරා ගැනීම සඳහා හොඳ උපාය මාර්ගයක් හා සැලසුමක් සකස් කළ යුතු බවත්,  ඒ සඳහා සියලු පාර්ශව කරුවන් එක ම තැනකට පැමිණෙන පොදු වේදිකාවක් සෑදීම අත්‍යාවශ්‍ය  බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා දක්වා සිටියා‍.

එලෙස සියලු ම පාර්ශව කරුවන් පොදු වේදිකාවකට පැමිණ 2030 ඉලක්කය සපුරා ගැනීම සඳහා සාකච්ඡා කර මාර්ග සිතියමක් සකස් කළ යුතු බව ප්‍රකාශ කර සිටි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අවසාන වශයෙන් සඳහන් කර සිටියේ ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක් යනු මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් බව ය.

මූලාශ්‍රය – ලංකාදීප FT

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading