නීතිපති යටගැසූ තවත් ෆයිල් එකක්! සිරිලිය සවියේ නොකී කතාව!

ජිමුත් ඉඳුසර රත්නායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් “සිරිලිය සවිය” නමින් පවත්වා ගෙන යනු ලැබූ ව්‍යාජ ගිණුම සම්බන්ධයෙන් යළි විමර්ශන කටයුතු ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පාර්ලිමේන්තුව හමුවේ පසුගිය දා ප්‍රකාශ කර සිටියා. අප මේ සටහනේදී අවධානය යොමු කරන්නේ, සිරිලිය සවිය සිදුවීම ගැන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් සිහිපත් කිරීමයි.

සිරිලිය සවිය ගැන කතා වුණේ, රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දූෂණ වාර්තා කිහිපයක් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළ මොහොතේ දී යි.

කෙසේ වෙතත් වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙලෙස පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානයට අයත් බැංකු ගිණුම්වල මැන්ඩේට් පත්‍රය කුමන්ත්‍රණකාරී ලෙස බැංකුවෙන් සොරා ගෙන ඇති බවයි.

ශිරන්ති රාජපක්ෂ විසින් සිරිලිය සවිය ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇති බවත්, ගිණුම් ශේෂය මිලියන 43 ක් සහිත ව දැනට අත්හිටුවා ඇති නීත්‍යනුකූල ව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නො කර කොළඹ 10 (මරදාන), ඩාර්ලි පාර මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ, 2006.11.14 දින ආරම්භ කරන ලද අංක 143 / 1 / 001 / 4 / 6235069 නම් මෙම ගිණුම හරහා අවස්ථා 88 ක දී රුපියල් අට කෝටි විසිනව ලක්ෂ අසූ අටක් තැන්පත් කර ඇති බවත්, ඊට අමතර අවස්ථා 129 ක දී රුපියල් තුන්කෝටි අනූ ලක්ෂ පහළොස් දහස් හයසිය පනස් හයක මුදලක් ලබාගෙන ඇති බවත්, සිරිලිය සවිය යන එ නමින් ම රුපියල් ලක්ෂ 100 ක ස්ථාවර තැන්පතුවක් ද ආරම්භ කර ඇති අතර, මෙම ගිණුමේ සභාපති ශිරන්ති රාජපක්ෂ, ලේකම් කල්‍යාණි දිසානායක හා භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී යන අය වන බවත් ඔහු සඳහන් කළා.


අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර සිටියේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම ගිණුම්වලට අදාළ විමර්ශන කටයුතු යළි ආරම්භ කරන බවයි.

2015 පෙබරවාරි 08 වන ඉරිදා දින මේ පිළිබඳ පළමු වරට හෙළි කරන ලද්දේ රාවය පුවත්පතේ මාධ්‍යවේදී ලසන්ත රුහුණ‌ගේ විසිනි. ඒ අනුව මෙය මාධ්‍යවලින් හෙළිදරව් කළ කතාවකි. මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ ගිණුම් අංක ද දක්වමින් සවිස්තරාත්මක ව එම සිද්ධිය වාර්තා කර තිබුණු අතර එහි සඳහන් ව තිබූ කරුණු මෙසේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් ඇයගේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය වශයෙන් හඳුන්වමින් පවත්වා ගෙන ගිය සිරිලිය සවිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගොස් ඇති ගිණුම සැකයට බඳුන් වී තිබේ. ඊට හේතුව වන්නේ අදාළ ගිණුම ආරම්භ කිරීම සඳහා අසම්පූර්ණ හා ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවට මේ වන විට අනාවරණය වී තිබීම හා එසේ අසම්පූර්ණ හා ව්‍යාජ තොරතුරු ලබා දී ගිණුමක් ආරම්භ කළේ කෙසේ ද යන ගැටලුව මතු වීමත් සමඟිනි.

“මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ඇති ගිණුම් අංක 143100146235069 යටතේ පවතින සිරිලිය සවිය ගිණුමේ මුදල් ලබාගැනීමේ බලය ඇත්තේ එස්. රාජපක්ෂ (ශිරන්ති රාජපක්ෂ), ඒ.එම්.ජේ.ඒ.කුමාරි හා කේ.කේ. දිසානායක යන අය සඳහා වන බවත්, ගිණුමේ කොන්දේසි අනුව එස්.රාජපක්ෂ සමඟ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් අත්සන් කිරීමෙන් මෙහි මුදල් ලබා ගත හැකි බවත් ය.”

මෙහි දී එස් රාජපක්ෂගේ මෙන්ම අනෙක් දෙදෙනාගේ ද ලිපිනය ලෙස ලබා දී ඇත්තේ කාල්ටන් බංගලාව, තංගල්ල ලෙස වන අතර, ගිණුම ආරම්භ කිරීමේ බල පැවරුමේ එස්.රාජපක්ෂගේ හැඳුනුම්පත් අංකය වශයෙන් 222222222 V ලෙස හා ඒ.එම්.ජේ.ඒ.කුමාරිගේ හැඳුනුම්පත් අංකය වශයෙන් 111111111 V ද, කේ.කේ. දිසානායකගේ හැඳුනුම්පත් අංකය වශයෙන් 587060958 V ද සඳහන් වී තිබෙන බවත්, පළමු දෙදෙනාගේ හැඳුනුම්පත් අංක මුළුමනින් ම ව්‍යාජ ඒවා වන බවත් කේ.කේ. දිසානායකගේ මහජන බැංකුවේ ඇති වෙනත් ගිණුමක් සඳහා ලබා දී ඇති හැඳුනුම්පත් අංකය මීට වෙනස් බවත් නිරීක්ෂණය වුණා.

අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ සිරිලිය සවිය ගිණුමේ මේ වන විට රුපියල් මිලියන 43.8ක මුදලක් ඇති බවයි.

මෙම සිරිලිය සවිය සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ජාතික ලේකම් කාර්යාලයේ ද ලියාපදිංචි කර ඇති අතර එහි අංකය වන්නේ 111201 ය. එහි ඇති ලියාපදිංචි ලිපිනය වන්නේ ද කාල්ටන් බංගලාව, තංගල්ල යන්න ය. එමෙන්ම මෙම ලියාපදිංචියේ දී සිරිලිය සවිය සංවිධානය එය සම්බන්ධ කර ගත හැකි පුද්ගලයකුගේ නමක් ඉදිරිපත් කර නැත. දුරකතන අංකය වශයෙන් සඳහන් කර ඇත්තේ 0114733200 අංකය ය. එම අංකය සඳහා අප ඇමතුමත් ලබාගත් විට ඇමතුමට සම්බන්ධ වූ පුද්ගලයා පැවසුවේ එම අංකය ජනාධිපති මන්දිරයේ දුරකතන අංකයක් බවයි.

තවද අන්තර්ජාලය පිරික්සීමේ දී එහි ඇති ව්‍යාපාරික නාමාවලිවල පෙන්නුම් කරන්නේ සිරිලිය සවිය, ජනාධිපති මන්දිරය, කොළඹ යන ලිපිනය ය.

කෙසේ වෙතත් මෙම ගිණුම හරහා සිදු කළ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් අංක ACC/FC/2025/90 යටතේ කරන ලද පැමිණිල්ලකට අනුව එවක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් පරීක්ෂණ මෙහෙයවීම ආරම්භ කළ ද එම පරීක්ෂණ දේශපාලන අධිකාරියේ බලපෑම මත නිසි පරිදි සිදු නො වී කාලයේ වැලි තලාවට යට වී ගියේ මෙරට දූෂිත දේශපාලනය විසින් නීතිය වෙත හා පරීක්ෂණ සම්බන්ධයෙන් සිදු කරන අත පෙවීම පිළිබඳ ව නැවත වතාවක් උදාහරණ සහිත ව පෙන්වා දෙමින්.

කුප්‍රකට ඇවන්ගාඩ් සමාගමෙන් මෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහයෙන් කොන්ත්‍රාත්තු ලබාගත් පුද්ගලයන් විසින් මෙම ගිණුමට අයථා අයුරින් මුදල් තැන්පත් කර ඇති බව අනාවරණය වූ හා ශිරන්ති රාජපක්ෂ විසින් කොළඹ 07 ටොරින්ටන් මාවතේ අංක 260/17 හි පිහිටි නිවසක් රුපියල් 35,000,000.00කට මේරි ලූඩ්ස් වික්‍රමසිංහ නමින් මෙම ගිණුමේ මුදල් උපයෝගී කර මිලට ගෙන ඇති බව විමර්ශන මගින් තහවුරු වූ මෙම ගිණුම සම්බන්ධ ව සිදු වූ එක ම ක්‍රියාදාමය බවට පත් වූයේ මෙම චෝදනා සියල්ල සඳහා චූදිතයා වන ශිරන්ති රාජපක්ෂ, කතානායක නිල නිවසට කැඳවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ප්‍රකාශයක් සටහන් කර ගැනීම පමණක් වන අතර, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ හට දුරකථනයෙන් කතා කොට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට චූදිතයා පැමිණෙනවා වෙනුවට කතානායක නිල නිවස වෙත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ගොස් මෙම ප්‍රකාශය ලබාගන්නා ලෙස දන්වා ඇති බවත් ඒ අනුව එසේ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කළ බවත් සඳහන් වනවා.

කෙසේ වෙතත් ඉන් පසුව 2016.03.04 වන දින නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා CRS/03/2016 යටතේ නීතිපතිවරයා වෙත මෙම කරුණු සහිත පරීක්ෂණ වාර්තා යවා ඇතත් ඉන් පසුව වසර ගණනාවක් මුළුල්ලේ අද වන තෙක් මෙම පරීක්ෂණ සඳහා සිදු වූයේ කුමක් දැයි කිසිවෙකුත් නො දන්නා වටපිටාවක නැවත එම පරීක්ෂණ යාන්ත්‍රණය බල ගැන්වීම සම්බන්ධ කෘතඥතාව පවතින දේශපාලන අධිකාරියට මෙන් ම අදාළ ආයතන වෙත ද හිමි විය යුතු වනවා‍.

සිරිලිය සවිය ගැන 2015 දී ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී, මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහව ඇමතූ බවත්. ඔහුගේ මැදිහත්වීමෙන් ශිරන්තිව ප්‍රශ්න කිරීමට ගෙන්වනවා වෙනුවට ඇයගේ ප්‍රකාශය කථනායක නිල නිවසේදී සටහන් කරගත් බවත් වාර්තා වෙන කාරණයක්. එවකට කථානායකවරයා වුණේ චමල් රාජපක්ෂ මහතායි. එවැනි පසුබිමක සිරිලිය සවියට යුක්තිය ඉටු නොවීම පුදුමයට කාරණයක් නොවෙයි.

වත්මන් රජය යටතේ සිරිලිය සවියට යුක්තිය ඉටු වනු ඇතැයි සියල්ලන් බලා සිටිනවා.

Author

Related Posts