පාකිස්ථානය ට්‍රම්ප්ව නොබෙල් තෑග්ගට නිර්දේශ කළේ මෝදිට රිද්දන්න! නොකී කතාව

තරිඳු උඩුවරගෙදර

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර නීතිය මෙන්ම තමන්ගේම රටේ නීතිය උල්ලංඝනය කරමින් ඇමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය නොලබා ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ලෝකයම කැළඹුණා. බිහිසුණු යුද්ධයක කොටසක් වීම ගැන ඔහුට විවේචන එල්ල වුණා.

එහෙත්, ඒ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ලෝකය ඉදිරියේ පාකිස්ථානය විහිළුවක් බවට පත් වුණා. ඒ, පාකිස්ථානය ඇමෙරිකානු ජනාධිපතිවරයාව නෙබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කළ නිසා.

එහෙත්, ඇත්තටම පාකිස්ථානය ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය නිර්දේශ කළේ ලෝකය ඉදිරියේ විහිළුවක් වීමට නෙවෙයි. ඉන්දියාව හෑල්ලුවට පත් කිරීමටයි.

ඔවුන් එලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම යෝජනා කිරීමට හේතු වුණේ, ඉන්දියාව සහ පාකිස්ථානය අතර පසුගිය කාලසීමාවේ ඇති වූ උණුසුම් සහ යුධමය තත්වය පාලනය කළේ තමන් විසින් බව ඇමෙරිකානු ජනධිපතිවරයා සිදු කළ කටමැත දෙඩීමක්. පාකිස්ථානයට ඉස්මතු කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ ඉන්දියාව මෙම ගැටුමේදී ඇමෙරිකානු කීමට අවනත වූ බව ඉස්මතු කිරීමටයි. ලෝකය ඉදිරියේ ඉන්දියාව හෑල්ලු කර සිටීමයි.

පාකිස්ථානය විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමතා පාකිස්ථානය සමඟ තිබුණු ගැටුම නැවැත්වූ බව ඉස්මතු කර පෙන්වීමටයි මෙම නාමයෝජනාව ඉදිරිපත් කළේ. ඉන්දියාව දැන් මුහුණ රතු කරගෙන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගැටුම පාලනය කිරීම සඳහා කිසිදු කාර්යභාරයක් නොකළ බවත්, නරේන්ද්‍ර මෝදි පාකිස්ථානයට එරෙහිව ගැසූ කයිවාරු හකුළාගත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කීමට නොවන බවත් කියන්නට දඟලනවා.

ලෝකයේ රටවල් ගණනාවකම දැන් ඉන්නේ ඊගෝවෙන් පිරුණු පිරිමි නායකයන් පිරිසක්. ඇමෙරිකාව, ඉන්දියාව, ඊශ්‍රායලය වැනි රටවල් පමණක් නොව ඉරානය, රුසියාව, චීනය වැනි රටවලද ඉන්නේ එවැනි නායකයන්මයි.

ඉන්දියාව සහ පාකිස්ථානය කියන රටවල් දෙකටම න්‍යෂ්ඨික අවි තියෙනවා. අප්‍රේල් මාසය අගදී ඉන්දියාව යටතේ තිබෙන පාකිස්ථානයෙහි පහල්ගාම් ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරය පසුපස පාකිස්ථානය සිටින බව ඉන්දියාව චෝදනා කළා. එයින් පසු පාකිස්ථානයට පහරදීම මෙන්ම එරටට ජලය ලබාදුන් ජල ගිවිසුමක් පවා අවලංගු කිරීමට තර්ජනය කෙරුණා. දෙරට අතර සම්බන්ධතා ඇණහිටියා. එහෙත් මැයි 10 වැනිදා දෙරට අතර සාම ගිවිසුමක් ඇති කෙරුණා.

ජුනි 20 සිකුරාදා පකිස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කීවේ, මෑතකදී ඇති වූ ඉන්දු පාකිස්ථාන ගැටුමේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම අගය කිරීමක් ලෙස 2026 නොබෙල් සාම ත්‍යාගය සඳහා ඔහුව නිර්දේශ කරන බව. වේගයෙන් වර්ධනය වූ ගැටුමක් පාලනය කළ බවත්, අපගේ කලාපයේ මෙන්ම ඉන් පිටතට යා හැකිව තිබුණු ගැටුමක් පාලනය කළ බවත් ඔවුන් සඳහන් කළා.

ඉන්දියාව සටන් විරාමයකට එකඟ වුණේ ඇමෙරිකාවේ මැදිහත්වීම බව පාකිස්ථානය අඟවද්දී ඉන්දියාව එය ප්‍රතික්ෂේප කරනවා. ජුනි 18 වැනිදා ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රකාශ කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් හා දූරකථන ඇමතුමකදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි “ජම්මු හා කාශ්මීරය සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් සමඟ ඇති ආරවුල විසඳීමට ඉන්දියාව කිසි විටෙක ඇමෙරිකාව මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම පිළිගෙන නැති බව. ඉදිරියේදී පිළිගන්නේත් නැති බව.”

පෙර සතියේ සෙනසුරාදා, ට්‍රම්ප් සිය Truth Social වේදිකාවේ පළ කළ සටහනක ඇමෙරිකානු ජනාධිපතිවරයා සුපුරුදු අන්දමේ ස්වයං වර්ණනාවක යෙදෙමින් තමන්ටම නොබෙල් සාම ත්‍යාගය නිර්දේශ කරගෙන තිබුණා.

“මට මේකට නොබෙල් සාම ත්‍යාගයක් ලැබෙන්නේ නැහැ, ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධය නැවැත්වීමට මට නොබෙල් සාම ත්‍යාගයක් ලැබෙන්නේ නැහැ, සර්බියාව සහ කොසෝවෝ අතර යුද්ධය නැවැත්වීමට මට නොබෙල් සාම ත්‍යාගයක් ලැබෙන්නේ නැහැ, ඊජිප්තුව සහ ඉතියෝපියාව අතර සාමය පවත්වා ගැනීමට මට නොබෙල් සාම ත්‍යාගයක් ලැබෙන්නේ නැහැ… මැද පෙරදිග ආබ්‍රහම් ගිවිසුම් ඇති කර ගැනීම සඳහා මට නොබෙල් සාම ත්‍යාගයක් ලැබෙන්නේ නැහැ” යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය කයිවාරුවක් ගසා තිබුණා.

පෙර දින මාධ්‍යවේදීන් සමඟ කයිවාරු ගසන අවස්ථාවකදීත් ට්‍රම්ප් එම ගැටුම් විසඳීමේදී ඔහුගේ භූමිකාව ගැන ඒ අයුරින්ම කියා තිබුණා. “මට නොබෙල් සාම ත්‍යාගය හතර පස් වතාවක් ලැබිය යුතුයි,” යනුවෙන් ඒ වෙලාවේ ඔහු කීවා.

කෙසේ වෙතත්, මේ වෙද්දී නොබෙල් සාම ත්‍යාගය වැනි ගෝලීය විකාරවලින් කිසි තෙරුමක් නැති නිසා එය රෝල් කර ඊගෝවෙන් පිරුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පස්සා පැත්තේ ගැසීමෙන් කාටවත් කිසි පාඩුවක් සිදුවන එකක් නැහැ. ලෝක නීතිය, මානව හිමිකම් නීති, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඇමෙරිකානු ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය වැනි සියලු විහිලුවල නිරුවත හෙළිවෙන මොහොතක නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට දීමත් විහිළුවක් වේවි.

පාකිස්ථානය ඇත්තෙන්ම කර ඇත්තේ ඒ විහිළුව ලොවට නිරාවරණය කිරීම විය හැකියි.

Author

Related Posts