ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ…

ශිෂ්‍ය වීර දිනය ජූනි 20. එනම් නිදහස් අධ්‍යාපනය මතු පරපුර උදෙසා සුරැකිව දායාද කිරීම වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා ආරක්ෂා කරගත් ශ්‍රී ලාංකේය ශිෂ්‍ය වීරයන් සමරන දිනයයි.

සැබවින්ම මෙය හුදු සැමරුම් දිනයකට එහා ගිය, මේ සමාජයට සහ මිනිසුන්ට සැබෑ ලෙසම ප්‍රේම කළ ආදරණීය සටන්කාමීන්ගේ ඒ ඉතිහාසය පරමාදර්ශ ලෙස සපථ කර හඬගා කියන දිනයයි.  නරුම පාලකයන්ගේ සහ ආණ්ඩුවේ නිළ මැරයන්ගේ වෙඩි උණ්ඩයට, මර්දනයට සහ සාහසික ලෙස මරාදැමීම් හමුවේ පවා තම ඒකායන අරමුණ වන නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් ආරක්ෂා කිරීම තම වගකීම බව සිත් දරාගෙන සටන් කළ වීරයන්ගේ දිනයයි.

වෙනුරගේ අම්මා ශිෂ්‍ය වීර දිනයේ රතු මල් මිටක් දතින් දරාගෙන තම ආදරණිය පුතා සිහි කරයි. මෙවැනි තම ලෙයින් උපන් ආදරණිය පුතුන් ගහලයන් විසින් මරා දමන ලද අතුරුදන් කරන ලද දහස් ගණන් අම්මලා හුස්මට ගන්නවාට වඩා සුසුම් හෙළයි. හීනෙනුත් අඬයි. 1989 සැප්තැම්බර් 21නිල ගහලයන් විසින් ඝාතනයට ලක් කරද්දී     කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ ඔහු උසස්පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමු වැනියාය. 1989 මැයි සිට මියයන තුරු ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේය. ත්‍රිමා, වෙනුර, නිමල් බාලසූරිය, ජනක, සිසිත යනාදී වැනි නම් දන්නා සහ නොදන්නා වීරයන් මේ යුගයට අත්‍යවශ්‍යව ඇත. මක් නිසාද යත් මේ යුගය යනු සමාජය පෙරටත් වඩා අශිෂ්ටත්වය කරා වේගයෙන් ගෙන යන යුගයකි.  

“අපි යන්නේ – කොයි පාරේ / ත්‍රිමා වෙනුර ගිය පාරේ

 අපි යන්නේ – කොයි පාරේ /නිෂ්මි බාලේ – ගිය පාරේ

  අපි යන්නේ – කොයි පාරේ/ ජනක සිසිත – ගිය පාරේ

  අපි යන්නේ – කොයි පාරේ/ විරු සොයුරන් – ගිය පාරේ

මේවා හුදු රිද්මයක් සහිත ඔහේ කියවන සටන් පාඨ නොවේ. සැබවින්ම මේ සටන් පාඨ යනු, සුවහසක් දරුවන්ගේ යහපත් ජිවිතයක් උදෙසා වන, නිදහස් අධ්‍යාපනය මරාදමන්නට තැත් කරද්දී, නැවත මහපොළොවේ ප්‍රාණවත් කිරීමට තම හදවත් දන් දුන් උත්තරීතර තරුණයන්ගේ ආත්මයයි.

අයුක්තිය සාධාරණය හමුවේ ධනේශ්වර මස් වැද්දන්ගේ සහ අධ්‍යාපන කඩ කාරයන්ගේ  නරුමත්වයට, මර්දනය එරෙහිව සටන් නොවදින තාරුණ්‍යක්ද?

තමන් ඉදිරියේ සමස්ථ සාරයන් අහිමි වද්දී, ධනය ඇති වුන්ට පමණක් අධ්‍යාපනය වරප්‍රසාදයක් වෙද්දී, උන්ගේ ධනය ගොඩ ගසන්නට ලේ දාඩිය කඳුළු වගුරන ශ්‍රමය පමණක් වත්කම වූ මිනිසුන්ගේ දරුවන්ට අධ්‍යාපනය රැක දීම ඒ තාරුණ්‍යයේ උර මත තබා ගත්හ. අයිතිවාසිකම්  දිනා ගැනීම උදෙසා සටන් කිරීම හැර වෙනත් මාවතක් නොමැති බව පුන පුනා ක්‍රියාවෙන් ඔප්පු කළ ඒ ආදරවන්තයන්ගේ දිනයයි. 

සැබෑ මිනිසුන් වීම ලේසි නැහැ. මේ ආදරණිය සැබෑ මිනිසුන් ආදරයේ අරගලයටත් පෙරමුණ දුන්නේ ඒ ඉතිහාසයේ ත්‍රිමා වෙනුරලාගේ, නිෂ්මි බාලේලාගේ, ජනක සිසිතලාගේ ලේ වලට, ජිවිතයට වටිනාකමක් එක් කරමින්ය. ආදරයේ අරගලය මෙරට ජනතාවගේ රීරි මාසයම උරා බී තමන්, තම පවුලේ සහ සහචරයන්ගේ ජීවිත සැපවත් කරගත් මිලේච්ඡ පාලකයන්ගේ  යුගාන්තය ගාලු මුවදොරදී සන්ටුහන් කිරීමට සමත් විය.

අන්තරේ නිතරම තරුණ ජවයට දුන් ආදර්ශයක් වන්නේ නායකයන් සිර කර, මරා දමා, බිය වද්දා, අතුරුදන් කර ශිෂ්‍ය ව්‍යාපාරය කිසිදු ආකාරයකට ලෙයින් යකඩින් මර්දනය කර ආපසු හැරවීමට හෝ දුර්වල කිරීමට නොහැකියි යන්නයි. අන්තරේ හිටපු කැඳවුම් කරු ළහිරු වීරසේකර නම් සටන් කාමී තරුණයා හිස් ආශ්චර්යයේ නගරය කොළඹ මැදදී ආණ්ඩුවේ පොලිස් මැරයන් පහර දෙද්දී ඉහළට දෑත් ඔසවා මේ රටේ තාරුණ්‍යට, මිනිසුන්ට හඬ ගා කියූ හී සර සටන් පාඨයක් වේ. ඒ “දෙවතාවක් නූපදින ජීවිතය වෙඩිල්ලක් කර ගනිල්ලා” යන්නයි. ඒ මේ සමාජයට ප්‍රේම කරන තරුණයකුගේ හද ගැහෙන රාවයයි.

මතකයේ කොටා ගත යුතු දෙයක් ඇත. ඒ මිලේඡත්වයේ පිළිල තවමත් අවසන්ව නැත. පිළිකුල්සහගත නරුම පාලකයන්ගේ ආත්මය විවිධ වේශයෙන් සමාජය තුළ සැරි සරයි. ඒ පිළිල   නසන්නට, මීට වඩා යහපත්, යුක්තිසහගත සමාජයක් වෙනුවෙන්  වත්මන් ශිෂ්‍ය ව්‍යාපාරය, දිදුළන හදවත් ඇති තරුණයින්, සමාජයට ආදරය කරන ඒ වෙනුවෙන් අනේකවිධ කැපකිරීම් කරන සැබෑ පරාර්ථකාමී මිනිසුන් හිරු පායන්නට කලින් අවදිව සිටිති. එසේම වේලාසනින් අවදි වී සිටි පමණින්ම හිරු නොපායන බවද ඔවුන් හොඳින් දනී…  

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් ජනතාවගේ මූලික අයිතියක් ලෙස තහවුරු වූ වඩා යහපත් සමාජයක් ගොඩනැගීමෙහි ලා සිසු විරුවෝ සටන් වැදුණහ. අවසන් සුසුම් පොදත් ගහලයන් විසින් හමාර කරද්දී සිය අරමුණු පාවා නොදුන්, ඔවුන්ගේ ධෛර්යය සම්පන්න හදවත් ශිෂ්‍ය ව්‍යාපාරය තූළ තවමත් ජීවමානය. ඒ වීරත්වය දරා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වත්මන් සටන්කාමී පුරුක් සමග ශිෂ්‍ය වීර දින ප්‍රධාන සැමරුම ඊයේ රජරට විශ්ව විද්‍යාලයේදී පැවැත්විණි…

ඊයේ එක ගීතයක් රජරට අහස යට වැයුනේ ගැයුනේ ඒ පිළිම නෙලා නැති සැබෑ විරුවන්ගේ වීරත්වයේ සංකේතය ඉදිරිපිට මල් මිටක් තබමින්ය. පීඩිත බාවය හිස පාගද්දී නිවටුන් වීම සමාජ සම්මතයක් වෙද්දී, ආත්මාර්ථකාමී මිනිස් රොඩු සමාජයේ හුස්ම හිර කරද්දී මතු පරපුරට යහපත් සමාජයක් උදෙසා තමන්ගේ හුස්ම කැප කළ වීරයන් වෙනුවෙන් වන උත්තමාචාරය වන්නේ ඔවුන් බලාපොරොත්තු වූ සමාජය හෙට උපදින පරම්පරාවට උදා කර දීම හැර වෙන කුමක්ද? 

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්

සැමරුම් දින නැති විරුවන් පිරිසක්

සැතපෙන බව පස් කඳු යට රහසේ

මිහිකත කම්පා වී… ගුගුරා දෙස්දේවී…

පීඩිතභාවය හිස පාගනවිට

සමාධි සුවයෙන් නොසිටිය යුතුවග

කියාදෙමින් ඒ විරුවන් මියැදුනි

උන්ගේ රුවවත් අප නෙත් නොගැටුනි

මිල මුදලට යස ඉසුරට ලොභබැඳ

අවි ගැටුවේ නැත උන් රණබිම්වැද

භීෂණ දූෂණ රජ වූ දෙරණක

සුභසෙත සලකා මළෝය උන්සැම

පිළිම නෙලා නැති විරුවන් පිරිසක්

සැමරුම් දින නැති විරුවන් පිරිසක්

සැතපෙන බව පස් කඳු යට රහසේ

මිහිකත කම්පා වී… ගුගුරා ගුගුරා දෙස්දේවී…

Author

1 Comment

  • ඔවු ඒ දිවි පිදූ හා අහම්බෙන් වදකයන්ගෙන් ගැලවුණු ඒ සැබෑ විරුවන්ට හදපිරි බැතින් හිසනමා ආචාර කරමු

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading