“කොන්දේසි විරහිතව යටත් වන්න !” ට්‍රම්ප් ඉරානයට තර්ජනය කරයි

ජිමුත් ඉඳුසර රත්නායක

ඊශ්‍රායලය විසින් සිදුකළ බෝම්බ හෙලීම් සහ ඉරානය ඊට ප්‍රතිප්‍රහාර ලෙස එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් දින පහකට පසු ඇමරිකානු ජනාධිපතිවරයා විසින් එම යුධ තත්ත්වය වෙත ඇමරිකානු හමුදා බලඇණිවල මැදිහත්වීම කෙසේ විය යුතු දැ යි යන්න පිළිබඳ ස්ථිර නොවන නමුත් අත්හැර දැමිය නොහැකි අදහසක් ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය විසින් සිදු කරන ලද බෝම්බ හෙලීම්වලින් අනතුරුව මෙම ඊශ්‍රායල ක්‍රියාමාර්ග වෙත ඇමෙරිකානු හමුදා සෘජුව ම සහභාගී වේ දැයි යන්න පිළිබඳ ජනාධිපතිවරයා දැක් වූ අදහස් පරස්පර විරෝධී වූ අතර, අවසානයේ මෙම ප්‍රහාර මාලාවෙන් හා ප්‍රතිප්‍රහාරවලින් අනතුරුව පසුගිය දා ධවල මන්දිරයේ දී තම ජාතික ආරක්ෂක කණ්ඩායමේ රැස්වීමක් කැඳවූ බව ආරංචි මාර්ග විසින් සඳහන් කරනු ලබනවා.

කෙසේ වෙතත් එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අතුගා දැමීම එම යුද්ධය වෙත ඇමෙරිකානු හමුදා මැදිහත්වීමක් අවශ්‍ය වීමට බොහෝ කලකට පෙර සිට ම තම බලාපොරොත්තුව වූ බවයි. එම ප්‍රකාශයෙන් අනතුරුව ඔහු තම Truth Social සමාජ ජාලා ගිනුම හරහා සටහනක් තබමින් සඳහන් කළේ, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සිටින ස්ථානය ඇමෙරිකානු හමුදා විසින් දැනටමත් දන්නා බවත්, එම ස්ථානය තම හමුදාවන්ට පහසුවෙන් බෝම්බ හෙලිය හැකි ස්ථානයක් බවත්, තමාට අවශ්‍ය අවස්ථාවක දී ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග ගැනීමට හෝ ඊට ආසන්න තීරණයක් ගැනීමට හැකි අතර ඔහුව දැනට එම ස්ථානයෙන් ඉවතට ගැනීමට (එනම් මරාදැමීමට) තමාට අවශ්‍ය නැති බවත් ය.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර තිබුණේ ඉරානය විසින් එල්ල කරනු ලබන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා හා සිවිල් වැසියන්ට සිදුවන හානි හේතුවෙන් තමා අනුගමනය කරන ඉවසීමේ ප්‍රතිපත්තිය හීන වෙමින් පවතින බවත් ය.

ඉන් අනතුරුව ට්‍රම්ප් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ “ඉරානය විසින් කොන්දේසි විරහිතව යටත් විය යුතු බව” යි. එය කෙතරම් මිලේච්ඡ හා පක්ෂපාතී ප්‍රකාශයක් වුව ද G7 සමුළුවෙන් අනතුරුව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් “ඉරානය පසු නො බසින්නේ නම්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් ම විනාශ කිරීම තම න්‍යාය පත්‍රයේ ඇති බව හා එය ඊශ්‍රායලයට තනිව ම සාක්ෂාත් කර ගත නො හැකි ඉලක්කයක් බව ප්‍රකාශ කිරීම හරා එම මිලේච්ඡත්වය ඇමෙරිකාව පමණක් ඔසවා සිටින්නක් නොව අහිංසක සිවිල් ජනයා පිළිබඳ කිසිඳු තැකීමක් නොමැති ලෝක බලවතුන් යැයි කියාගන්නා ලේ පිපාසිතයන්ගේ බල ලෝභයේ ප්‍රතිපලයක් බව අපට ඉතාමත් හොඳින් පැහැදිලි වනවා.

කෙසේ වෙතත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා සිටියේ “අපි ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා නමුත්, කලාපයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන ඔවුන්ගේ ක්‍රියාවන්ට කිසිසේත් ම සහාය නො දක්වන බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අද කළ හැකි බරපතල ම වැරැද්ද නම් ඉරානයේ පාලන තන්ත්‍රය මිලිටරි ක්‍රම මගින් වෙනස් කිරීමට උත්සාහ කිරීම බවයි.

එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් ද අවධාරනය කරමින් කියා සිටියේ, එක්සත් ජනපදය ඊශ්‍රායල විසින් සිදුකරන මෙම බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට කිසිසේත් ම සූදානම් නොමැති බවයි.

ජනාධිපති ට්‍රම්ප් G7 සමුළුවෙන් අනතුරුව වොෂින්ටනයට ආපසු අතරමග දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ පවසා සිටියේ, ඉරානයට එරෙහි ඊශ්‍රායල් යුද්ධයේ දී තමා කිසිසේත් ම සටන් විරාමයක් අපේක්ෂා නොකරන බවත්, ඒ වෙනුවට ඉරානය “යුද්ධය සම්පූර්ණයෙන් ම අත්හැර දමනු ඇතැයි” තමා බලාපොරොත්තු වන බවත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ “සැබෑ අවසානයක්” දැකීමට තමාට අවශ්‍ය බවත් ය.

උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද සමාජ මාධ්‍යයන් හි සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ “ඉරානයේ ටෙහෙරාන් නුවර තවදුරටත් න්‍යෂ්ටික අවි සඳහා වුවමණා වන යුරේනියම්වලින් පොහොසත් වීම අවසන් කිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගත යුතු අතර ඒ පිළිබඳ තීරණ ගත යුතු බවත්, එය පිළිබඳ අවසාන තීරණය ජනාධිපතිවරයා සතු බවත් ය.”

ඊශ්‍රායලය තම බෝම්බ හෙලීමේ ව්‍යාපාරය අත් නොහරිනු ඇතැයි ද ජනාධිපතිවරයා අනාවැකි පළ කළ අතර එම ව්‍යාපාරයේ තීරණාත්මක මොහොතක් ළඟදීම දක්නට හැකි බවත් ඇමෙරිකාවේ උදව් ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් විනාශ කරනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් ඔහු විසින් පැහැදිලි කළා.

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂ අංශ අවධාරණය කළේ, ඇමෙරිකාව විසින් ඇස්තමේන්තු කර ඇති බැලස්ටික් මිසයිල 3,000 කින් යුත් අවි ගබඩාවකින් ඉරානය මිසයිල 370 ක් පමණ දැනටමත් භාවිතා කර ඇති බවත් ඒවා අතුරින් ඉරානයේ මිසයිල දියත් කිරීම් 200 ක් පමණ තම ආරක්ෂක අංශ විසින් විනාශ කළ බවත් ය.

ඊශ්‍රායලය විසින් ඉරානයේ අණදෙන නිලධාරී දාමයට දැවැන්ත ප්‍රහාරයක් මේ වන විටත් එල්ල කර ඇති අතර, අවම වශයෙන් ඉරානයේ ජ්‍යේෂ්ඨ ජෙනරාල්වරුන් 11 දෙනෙකු පමණ මරා දමා ඇති බව සඳහන් වනවා.

Author

Related Posts