තොණ්ඩමන් මාලිමා හවුලෙන් නුවරඑළිය නගරාධිපති තෝරා පත් කර ගෙන ඇත. නුවරඑලිය මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වනිගසේකර මහතා තේරි පත් වී ඇති අතර සභාවේ උප නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා මහතා තේරී පත් වී ඇත. හැටන් කොටගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපති රාජමනී ප්‍රසාන්ත් මහතා පත් වී ඇති අතර උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජේසුදාසන් යහුලමාරි මහත්මියද ඒකමතිකව තේරි පත් වී ඇත. 2018 පැවති පළාත් පාලන මැතිවරණයේදී කොටගල ප්‍රාදේශීය සභාවේ අසීමිත බලයක් හොබවාගෙන ආසන ලබා ගැනීමට ලංකා කම්කරු කොන්ග්රසය සමත් විය.
ඒත් සමගම පහත තොරතුරැ ටිකත් ඉතා අවධානයෙන් කියවා ගැනීම වැදගත් වනු ඇත.
සෞම්‍යමුර්ති තොණ්ඩමන්
CWC නායකයා – 1939 සිට 1999 දක්වා (අවුරුදු 60 ක්)
පාර්ලිමේන්තු මන්ත්‍රී – 1947–1952 (අවුරුදු 5 ක්)
පාර්ලිමේන්තු මන්ත්‍රී – 1960–1970 (අවුරුදු 10 ක්)
පාර්ලිමේන්තු මන්ත්‍රී – 1977 ජූලි 21 – 1988 දෙසැම්බර් 20 (අවුරුදු 10 ක්)
පාර්ලිමේන්තු මන්ත්‍රී (National List) – 1989 – 30 ඔක්තෝබර් 1999 (අවුරුදු 10 ක්)
ආරුමුගම් තොණ්ඩමන්
CWC නායකයා – 1999 සිට 2020 දක්වා (අවුරුදු 21ක්)
පාර්ලිමේන්තු මන්ත්‍රී – 1994 අගෝස්තු 16 – 2020 මාර්තු 2 (අවුරුදු 25 මාස 7)
ජීවන් තොණ්ඩමන්
වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය 12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022 (අවුරුදු 1 මාස 8)
ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය – 2023 ජනවාරි 19 – 2024 සැප්තැම්බර් 23
මලයහ ජනතාව ලංකාවට පැමිණ වසර 200ක් බවට කියමින් ඔවුන් එය දුක වේදනාව සතුට සහ අතීත ස්මරණයන් සමගින් සමරයි. නමුත් ඒ වසර 200න් හරි අඩක් පමණ (අවුරුදු 90ක් පමණ) වතුකරය රජකර ඇත්තේ වතුකරයේ ජනතාවගේ නායකයන් ලෙස සිට ඇත්තේ තොණ්ඩමන්ලාය. තොණ්ඩමන්ලාගේ ඉතිහාසය දෙස හැරී බැලුවහොත් ඔවුන් තමන්ගේ ඇමති පට්ටම් රැකගනිමින් තම බලය පවත්වාගෙන යාමට කටුස්සන් මෙන්පාට මාරු කර ඇත. එසේ තහවුරු කරගන්නා ලද බලය මගින් මලයහ ජනතාවට ඉඩමක්, ලිපිනයක්, සංස්කෘතික ජිවිතයක්, අධ්‍යාපනය, අනාගත අපේක්ෂාවන් ඉටුකරන ආර්ථික තත්ත්වයක්, ගෞරවාන්විත ජිවිතයක් ලබා දීමට තවමත් අසමත් වී ඇත.
වතුකරය ගැන හෙන හෑලි කියමින් පැමිණි අනුර කුමාර දිසානායක නුවරඑළිය දෙවනත් වනසේ මොර දෙමින් කියා සිටියේ වත්තෙන් කොළඹට වැඩට එන කොල්ලාගේ කෙල්ලගේ ඉරණම පිළිබඳව පැතලි මාදිලියයි. සෙල්විලා මැලවිලා යන ප්රවෘත්ති වතුකරයෙන් දිනෙන් දින පල වෙමින් තිබේ. ජනතාව ප්‍රතික්ෂේප කළ වැඩවසම් පාලනය සමග කරට අත දමා ගැනීමට සෙල්විලාට, කිට්නන් සෙල්වරාජ් සහ අම්බිකා සැමුවල් ලාට සිදුව තිබේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පළාත් පාලන ආයතන වල හවුලේ නගරාධිපති උප නගරාධිපතිලා සහ සභාපති උප සභාපතිලා පත් කරගනිමින් තිබේ.
පසුගිය 16 වනදා එම හවුල පිළිබඳව ජීවන් මූලිකත්වයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයින් රැස්ව මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කොට ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් (16) දින හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානයේදි එක් වු අතර, එම රැස්වීමේදි ලංකා කම්කරු කොංග්‍රසට කුකුලා සලකුණින් තරගකර නුවරඑලිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, යන දිස්ත්‍රික්කවලට සහ දෙණියාය කොටපොල ප්‍රාදේශීය සභාව සදහා තේරි පත්වූ සභිකයන්ගේ සහයෝගය ජාතික ජන බලවේගයට ලබා දීමටත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කොටගල, ආගරපතන, නුවරඑලිය සහ නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිධූරය ලංකා කම්කරු කොංග්රසයටත් උප සභාපතිධුරය ජාතික ජන බලවේගයට ලබා ගැනීමටත් තීරණය වී තිබෙනවා.
මෙසේ මුණ ගැසී සාකච්ඡා කරන්නට ඇත්තේ මොනවාද? සෙල්විලා සමග හවුලේ සහයෝගයෙන් පළාත් පාලන ආයතන පවත්වාගෙන යාමට විය හැකිද? කිසි සේත්ම නැත. වතුකරය තුළ තවමත් තොණ්ඩමන්ලාගේ දේශපාලනික දෘෂ්ටිවාදීමය අවතාරය මුල්බැසගෙන ඇත. සෙල්විලාගේ බලාපොරොත්තුව වූ තොණ්ඩමන්ලාගේ බලකොටු බිඳ දමා වතුකරයේ ජනතාවට ලස්සන ජීවිතයක් ඇතිකළ හැකි වේවිද? තොණ්ඩමන්ලා NPP සහයද ඇතුව පිහිටුවනු ලබන පළාත් පාලන ආයතන ලොක්කන් විසින් NPP ය එළි දැක්වූ හැටන් ප්රකාශනය යථාර්තයක් කරන්නේ කෙසේදැයි සෙල්විට, මංජුල සුරවීර ආරච්චිට සහතිකයක් දිය හැකිද? මෙහිදී වතුකරයේ වසර 200ක සංස්කෘතික මිනිසා ගෞරවණිය පුරවැසියෙක් බවට පත් කිීරීමට අදාළ ගැඹුරු පරිවර්තනය තොණ්ඩමන්ලා සමග හවුලේ කල හැකිද යන ප්රශ්නය මතුවේ. එසේ කළ හැකිනම් ීට සතියකට පෙරදීද සෙලවී මන්ත්‍රිනිය සඳහන් කළ තොණ්ඩමන්ලාගේ නරුමත්වය අවසන් වී තිබේද?
මෙහි සිදු විය හැකි කාරණා කිහිපයක් ඇත. මේවා හිතවත්කම් නොව දේශපාලනිකව සංවේදී කලාප වල ගතිකයන් නිර්මාණය කිරීම ලෙස කිව හැකිය. ජනතාව ගැන මෙලෝ සංවේදීත්වයක් නැති ජීවන් එක්ක යන ගමන මාලිමාවේ සියදිවි නසාගැනීම විය හැකිය. සෙල්විලා දන්නමුත් ලොක්කලා නොදන්න වතුකරයේ දෘෂ්ටිවාදී දේශපාලනය සෙල්වි විසින් ලොකු අයට ටියුෂන් දිය යුතුය. නැත්නම් උඩින් එන සමහර තීරණ සෙල්වි, කිට්නන් සහ අම්බිගාලා පොඩි පට්ටම් කරගෙන යා හැකිය. මෙය සිංහල ඡන්ද පනමක් සහිත මංජුල සුරවීර ට ප්‍රශනයක් වුවත් සෙල්විලාට තරම් නොවේ. තලවාකැලේ, කොටගල වැනි ප්‍රදේශ තොණ්ඩලාගේ දේශපාලනික මරමස්ථාන සහ බල කොටු වේ. එම ප්‍රාදේශීය සභා ඔවුන් කිසිසේත්ම අත හැරීමට සූදානම් නැත. එවැනි මොහොතක NPP ය මෙසේ හවුල්කාරීත්වයකට යාම එක් පසෙකින් ආයතන 4ක බලය තහවුරු කිරීම සඳහා වාසි සහගත වුවද අනෙක් අතින් කොටගල සදාකාලිකවම නැවතත් තොන්ඩමන්ලාටම පවරා දීමකි. ජාතික ජනබලවේගයට කොටගල ආසන 5ක් තිබූ අතර CWC ටද 5ක් තිබුණි. මෙහිදී අප සිතන ආකාරයට ඉතා වැදගත් වන්නේ ජාතික ජන බලවේගයට ලැබුණු ඓතිහාසික ආසන 5 සහ CWC අයිතිහාසික පරාජයයි.
ඒ පරාජයේ වේදනාව සහ වියරුව ජීවන් විසින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කොටගලදී පෙන් වූයේ යයි වාර්තා විය. නමුත් දැන් ඔහු නැවත සුපුරුදු ක්‍රීඩාව කරනු ඇති අතර සෙල්විලා මේ මැච් එක ලකුණු බින්දුවෙන් පටන්ගනිද්දී ඔවුන් ඉනිම් ගණනක් ඉදිර්යෙන් පටන් ගනී.
මලයග ජනතාව හෘද සාක්ෂියට එකඟව හෝ වෙනත් හේතුවක් නිසා සෙල්වි වැනි සුවිශේෂී නායිකාවන් බලයට පත් කර ඇත. එම බලය යම් හෙයකින් ගිලිහුනහොත් නැවත ලබා ගැනීම ඉතාමත් අසීරුය. වතුකරයට ගෞරවණිය ජිවිතයක් ගෙන ආ යුතුමය. නමුත් එම ගෞරවණිය ජීවිතය දශක ගණනාවක් තිස්සේ අහිමි කළ සහ කෙලෙසූ නරුම දේශපාලන සමග නොවේ.
පසුගිය වසරේ මැයි දිනය තොණ්ඩමන්ලා සැමරුවේ කම්කරු ඇමති මනූෂ සහ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් සමගය. පොංගල් දිනයේදී ඔවුන් එකට පොංගල් කිරිබත්ද කෑවේය. ඒ සඳහා මුදල් දුන්නේ විදුර වික්‍රමනායක සිටි අමාත්‍යංශයෙන් නම් ඒ වියදම් කළ ආකාරයද සෙවිය යුතුය. එය වෙනත් කාරණයකි. 2024 මැයි 1 තොණ්ඩමන්ලා කොටගලදී මැයි දිනය සමරද්දී, රෙද්දක් ඇඳගෙන ආණ්ඩුවේ රැලියට යා නොහැකි ස්වාධීන වෘත්තීය සමිති කිහිපයක් මල්ලි අප්පුව හංදියේ සිට හැටන් නගරය දක්වා පා ගමනින් ගියහ. එහි රනිල් රාජපක්ෂ පාලනයේ නරුමත්වය සහ මනුෂාගේ කම්කරු විරෝධී ප්‍රතිපත්ති වලට එරෙහි සටන් පුවරු තිබිණි. ස්වාධීන වෘත්තීය සමිති පාගමනට එදින මොළේ අර්ශස් හැදුනුල තොණ්ඩමන්,රනිල් හා මනුෂ හිතවාදීන් විරුද්ධ විය. නරින් සේ හූ කියූ අතර ගවයන් සේ තප්පුලමින් කෑ ගසන්නට විය. එය නොතකා පා ගමන ඉදිරියට ගියමුත් එදින හවස් වරුවේ තොණ්ඩමන් ගේ තලෙයිවර්ලා ස්වාධීන රැලිය සංවිධාන කළ කාන්තා නායිකාවන් ඇතුළු අයගේ නිවෙස් වලට ගොස් තර්ජනය කරන ලදී. එම තර්ජන වල අන්තර්ගතය වූයේ තොණ්ඩමන් හිතවාදී නැති රැළි තිබිය නොහැකිය යන්නයි.
මේ ඒකාධිපතීත්වය බිඳ දැමීමට කරට අත දාගෙන යාම උපාය මාර්ගික වැඩපිළිවෙලක් යයි NPP ය කියනු ඇත. ඒ උපාය මාර්ගික වැඩපිළිවෙලවල් යද්දී ඔවුන්ගේ උපාය මාර්ගික වැඩ පිළිවෙළවල් ද තීරනාත්මක සාධකයක් සහ අභියෝගයක් ලෙස සිතීම නිහතමානීව කළ යුතු වනු ඇත.
කෙසේ වුවද අපේක්ෂාව වන්නේ මලයහ ජනතාවට අවුරුදු 200ක් තිස්සේ අහිමි වුණු බලාපොරොත්තු සහගත ගෞරවණිය ජීවිතය අත්පත් කර දීමයි. ඒ සඳහා වන සාමූහික වැඩපිළිවෙලක් අවශ්‍ය අතර ඒ සාමුහිකත්වය ජනතාවට මීට වඩා යහපත් ජිවිතයක් වෙනුවෙන් වන ජනතාවාදී එකක් විය යුතුය.
මතු සම්බන්ධයි.
