ඊශ්‍රායලයේ අත්තනෝමතික තීරණ හමුවේ ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්

ජිමුත් ඉඳුසර රත්නායක

ඊශ්‍රායලය හා ඉරානය අතර ඇවිලෙන යුධ වාතාවරණය සමඟ ඊශ්‍රායලයේ ඉදිකිරීම්, රැකවරණ, ආගන්තුක සත්කාර සහ කෘෂිකර්මාන්තය යන අංශවල රැකියාවන් හි නිරත වන 20,000 කට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිළිබඳ මෙරට රජයේ හා පුරවැසියන්ගේ අවධානය යොමු වී තිබෙනවා‍.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සමනය වන තුරු ශ්‍රී ලාංකිකයින් ඊශ්‍රායලය වෙත තවදුරටත් රැකියා සඳහා නොඑවන ලෙස ටෙල් අවිව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනටමත් ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මේ වන විට රැකියා සඳහා ඊශ්‍රායලයට පැමිණීමට ශ්‍රී ලාංකිකයින් සිය ගණනක් සුදුසුකම් ලබා සිටිය ද ඊශ්‍රායල පුහාර හමුවේ ඉරානය ප්‍රතිපහාර ලෙස නැවත ඊශ්‍රායල භූමියට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මේ වන විට මැද පෙරදිග රටවල පවතින යුධමය ආතතිය හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් පිටත් කර හැරීම තාවකාලිකව නතර කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

නමුත් මෙම තත්ත්වය උත්සන්න වුවහොත් මැද පෙරදිග කලාපයේ රැකියා අවස්ථා අහිමි වීම හා විදේශ විනිමය නොමැතිවීම සමඟ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව පත්වන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බවයි සඳහන් වන්නේ

මේ අතර, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසා සිටියේ “ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර ටෙල් අවිව්, හයිෆා සහ එම අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල වීමෙන් ගොඩනැගිලි කිහිපයක් ගිනි ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එක් අයෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලැබූ බවයි.”

ටෙල් අවිව් නගරයට දකුණින් පිහිටි නිවසක සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මිසයිල ප්‍රහාර හමුවේ එම නිවසේ ඇති වූ දැඩි කම්පනයන්ගෙන් අනතුරුව ඔවුන්ගේ සත්කාරක පවුල සමඟ ම එම ස්ථානයෙන් ඉවත් කරන ලද බව සඳහන් වුණා.

තව ද මෙයට සමාන්තරව ම බැට්යම් හි සිදුවූ ප්‍රහාර හමුවේ වීදුරුවක් කඩා වැටීම හේතුවෙන් තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලැබූ අතර එරට ශ්‍රී ලාංකික තානාපති පවසා සිටියේ එම කාන්තාවට පෞද්ගලිකව කතා කළ බවත්, ඇයගේ දකුණු අතේ තැලීම් සහ කැපුම් තුවාල ඇති වී තිබුණ ද ඇයගේ තත්ත්වය බරපතල නොවන බවත් ය‍.

මෙරට ඊශ්‍රායල තානාපති සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා මෙසේ බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගොස් බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකික ජාතිකයන් හමුව ඇති අතර, තුවාල ලැබූ කාන්තාවන්ගෙන් එක් අයෙකු තානාපති කාර්යාලයට ගෙනැවිත් වෛද්‍ය ආධාර ලබා දෙන බවත් සඳහන් කර තිබුණා.

මෙම සිද්ධීන්ට අමතරව, එම ප්‍රහාරවල දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවකගේ මහල් නිවාසයකට ද හානි සිදුවී තිබූ අතර, වාසනාවකට මෙන් කිසිදු තුවාලයක් වාර්තා නොවන බවයි සඳහන් වන්න‍ේ.

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ආපසු පැමිණිය නොහැකි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සඳහා නැවත වීසා බලපත්‍ර දීර්ඝ කිරීම සඳහා පහසුකම් සැලසීමට ද තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටින බව සඳහන් කළ අතර, බලපෑමට ලක් වූ හෝ සහාය අවශ්‍ය ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් වහාම තානාපති කාර්යාලය අමතන ලෙස ද ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් මෙම වාතාවරණය හේතුවෙන් තෙල් මිල ඉහළ යාම සහ අපනයන පහත වැටීම වැනි බාහිර කම්පන නිසා මෙරට ආර්ථිකය අතිශයින් අවදානමට ලක්වීම වඩාත් සැලකිලිමත් විය යුතු කාරණයක් ලෙස හැඳින්විය හැකි වනවා.

ඊශ්‍රායලය ගෙන යන අත්තනෝමතික රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටින හා විරෝධය දක්වන ශ්‍රී ලාංකික හා ලෝකවාසී ප්‍රජාව ඉලක්ක කරගනිමින් “මේවාගෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද ?” යනුවෙන් හඬගා සිනාසුණු මිනිසුනි, දැන් යුද්ධය ඔබේ දෙපා මුළට ම පැමිණ ඇත. හෙට ඔබේ ඥාතියා හෝ අසල්වැසියා මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් ව හැකියි. ඔබව තවදුරටත් ඇස් කන් පියා සිටිය හැකි ද ? එසේ නිහඬව සිටීමෙන් පසුව සිදුවන ජන සංහාරයට වරදකරු බවට ඔබ ද අනිවාර්යයෙන් ම පත් වන බව නො අනුමානයි.

මෙර‌ට ජාතික ජන බලවේගය ප්‍රමුඛ කොටගත් ආණ්ඩුව ද පලස්තීනයේ ජන සංහාරය පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නො දැක්වීමත්, යුධ වාතාවරණය ඇවිළෙන කලාප සඳහා විදේශ විනිමය වෙනුවෙන් අහිංසක ජනතාව යවමින් ඔවුන්ව මර උගුලක සිර කිරීමත් යන කාරණා සම්බන්ධව ගෙන යන නිහඬ පිළිවෙත මෙසේ බෙල්ල මුලට ම හිරවුණු පසුව හෝ වෙනස් කරමින් ප්‍රසිද්ධියේ ඊශ්‍රායලයට එරෙහි වෙමින් හා යුධ කලාපයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අනිවාර්යයෙන් ම කටයුතු කළ යුතු නොවේ ද ?

Author

Related Posts