සම්පත් ලක්මාල් පැහැර ගෙන ගියේත් , එවකට යුද හමුදා ලුතිනන් මේ ශම්මි කුමාරම ද …….?

පෝද්දල ජයන්ත

“කුමාර මහත්තයා කෝල් එකක් දුන්නා. පුතාට ගමනක් යන්න ලෑස්ති වෙන්න කියල. ටික වෙලාවකින් ගෙදර වැට ගාවට ජීප් එකකින් කුමාර මහත්තා ඇවිත් පුතාව එක්ක ගියා. වෙනදා මහ පාන්දර හරි ගෙදරටම ගෙනත් බස්සනවා. ඒත් එදා ආපසු එක්ක ආවේ නෑ…..”

සම්පත් ලක්මාල් යනු වයස අවුරුදු 23 ක් 24 ක් වූ තරුණ ජනමාධ්‍යවේදියෙකි. ජනමාධ්‍ය ගැන එතරම්ම පුළුල් දෑනුමක් සහ අත්දැකීම් නොතිබුණ ද , සමාජයේ සැගවුණ විවිධ අපරාධ සිද්ධි රටට හෙළිදරව් කිරීමට පුදුමාකාර උණක් තිබුණු තරුණයෙකි. විවිධ පුවපත්වලට තම නමින් සහ අන්වර්ථ නාමයන් ගෙන් ලිපි ලිවීමට මේ තරුණයා දැඩි වෙහෙසකර උත්සාහයක් දැරූවෙකි. කුඩා කලම පියාද අහිමිව සිය මව විසින් මේ තරුණයා ද , ඔහුගේ නැගණිය ද රැක බලා ගත්තේ අති දුෂ්කරතා මධ්‍යයේ ය. ඔවුන් ජීවත් වූයේ ද රත්මලාන ප්‍රදේශයේ ඉතාම කුඩා නිවසක බොහෝ අග හිඟකම් මධ්‍යයේ ය.

සම්පත් ලක්මාල් පැහැර ගෙන ගොස් ඝාතනය කරන විට ඔහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස සේවය කළේ ශ්‍රී ලාල් ප්‍රියන්ත කර්තෘත්වය දැරූ ‘සත්දින’ පුවත් පතේය. එම පුවත්පතට සම්පත් ලක්මාල් නමින්ද , වෙනත් අන්වර් නාමයන් ගෙන් ද , ලිපි ලේඛන සැපයී ය. ඔහු පැහැර ගැනීමට ලක්වන සමය වනවිට යුද හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකු සමගම දැඩි ඇයි හොදැයිකින් කටයුතු කර ඇති බව නොරහසකි.

“කුමාර මහත්තයා පුතා එක්ක යන්න නිතර දෙවේලේ ගෙදරට එනවා යනවා….. “

සම්පත් ලක්මාල්ගේ මව රෑපා ද සිල්වා මහත්මිය පවසන අයුරින් ලුතිනන් කුමාර යනු සම්පත් ලක්මාල් ළගින්ම ඇසුරු කළ යුද හමුදා නිලධාරීයෙකි. ඔවුන් ලුතිනන් කුමාර හදුන්වා ඇත්තේ ද ‘කුමාර මහත්තයා’ යන නාමයෙනි. ඔහු සමග තම පුත්‍රයා විවිධ ගමන් බිමන් යන බවත් , එවැනි අවස්ථාවල හමුදා ජීප් රථවලින් පැමිණ තම පුතා එක්කර ගෙන යන බවත් , ඇතැම් දිනවල බොහෝ රෑ බෝවී නිවසට ඇරලවන බවත් ඒ මෑණියන් පවසන්නී ය.

වර්ෂ 2006 වසරේ මැද භාගයේ කිසියම් දිනක රාත්‍රී ඔවුන් කුමාර මහත්තයා ලෙස හදුන්වන එවකට ලුතිනන් කුමාර ගෙන් සම්පත් ලක්මාල්ට දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ඒ විශේෂ ගමනක් යාමට ඇති බැවින් ලෑස්ති වී සිටින ලෙස යි. කුමාර මහත්තයාගේ ගමන් බිමන්වලට කිසි දිනෙක නෑ බෑ නොකියන සහ වඩා උද්යෝගයකින් එකී ගමන් බිමන්වලට සහභාගීවන සම්පත් වහ වහා ලෑස්ති වී කුමාර මහත්තයා බලාපොරොත්තුවෙන් සිට ඇත. ටික වේලාවකින් නිවස ඉදිරිපිට වැට අසළට හමුදා ජීප් රියකින් පැමිණි කුමාර මහත්තයා සම්පත් ලක්මාල්ව ජීප් රියේ නංවා ගෙන පිටත්ව ගොස් තිබේ. තම පුත්‍රයා කුමාර මහත්තයා සමග පිටව ගියේ සිය අවසන් ගමන බව ඒ මවවත් , සම්පත් ලක්මාල්වත් ඒ මොහොතේ දැන සිටියේ නැත.

සම්පත් ලක්මාල්ගේ වෙඩි වැදුණු මළ සිරුර දෙහිවල මුහුදු වෙරළේ………..!

සුපුරුදු ලෙස යුද හමුදා ජීප් රථයකින් පැමිණි කුමාර මහත්තයා කැටුව ගිය සිය පුත්‍රයා නැවත නිවසට එනතුරු රැය පහන් කළ ද , වෙනදා මෙන් ඔහු ආපසු නිවසට ඇරලවීමට කුමාර මහත්තයාගේ ජීප් රථය පැමිණ නැත. දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන්න ද ඒ කිසිම ඇමතුමකට සම්පත් ගෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැත. කෙසේ වෙතත් පසුදා උදෑසන අටට පමණ සම්පත් ලක්මාල්ගේ වෙඩි වැදී මියගිය මෘත ශරීරය දෙහිවල මුහුදු වෙරළේ තිබෙන බව ඔහුගේ මව රෑපා ද සිල්වා මහත්මියට දැන ගන්නට ලැබී තිබේ.

ඔහු ඇද සිටි කලිසම් සාක්කුවේ දුරකථන ද තිබී ඇති අතර, එම දුරකථනයට මව ගෙන් ලද ප්‍රතිචාර නොදැක්වූ ඇමතුම්වලට පෙර ලැබී තිබූ අවසන් ඇමතුම වී ඇත්තේ ඔවුන් කුමාර මහත්තයා යැයි ඇමතූ යුද හමුදාවේ ලුතිනන් කුමාර ගෙනි.

සම්පත් ලක්මාල් හමුදා ඔත්තු කරුවකු ලෙස පාවිච්චි කර පසුව මරා දැමුවා නොවේ ද…… ?

තරුණ වයසේ ජීවිතය ගැන එතරම් බැරෑරුම් කමක් නොදැන සිටි සම්පත් විවිධ තැන් , මාධ්‍ය ආයතන , පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැස්කර ගැනීම සඳහා හමුදා බුද්ධි අංශ විසින් පාවිච්චි කර ඇති බවට ඔහු නිතර ආ ගිය තැන්, මිතුරන්ගේ නිවෙස්වලදී කර ඇති කතා බස්වලදී අනේකවත් වැටහුණු බව එම මිතුරන් මේ කුරිරු ඝාතනයෙන් පසු අප සමග අදහස් හුවමාරු කරගෙන තිබේ. ඔහුගේ කටින් පිටවන සමහර කාරණාවල ඇති බරපතල කමක් මේ යෞවනයාට නොවැහැටී තිබුණු බවද , ඔවුන්ගේ අදහස යි. හමුදා කදවුරු අභ්‍යන්තරයේ ද සම්පත් ලක්මාල් සැරිසරා ඇති බව ද , එවා තුළ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියා කාරිත්වයන්ද පිටස්තරව තැන තැන සිට පාලනයකින් තොරව කතා බහට ලක් කරමින් සිටි බවද ළගින් සිටි පිරිස දැන සිට තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ ඇතැම් රහස් තොරතුරු සම්පත් ලක්මාල් දැන සිට ඇති බවත්, ඒවා සම්පත් ලක්මාල් ගෙන් යම් දවසක හෙළිදරව් වනු ඇතැයි බියෙන් ඔහු ඝාතනය කරන්නට ඇතැයි බොහෝ ජනමාධ්‍ය සගයන් දැරූ මතය විය . ඔහු අන්වර්ථ නාමයෙන් පුවත්පතට ලියූ ඇතැම් ලිපිවල ඇති රහස්‍ය කාරණා සම්පත් ලක්මාල් විසින් ලියන ඒවා බවට මේ ඝාතකයෝ දැන සිටි බවට ද එකල අප ජනමාධ්‍ය සමාජය තුළ කතා බහට ලක්වූ කාරණාවකි.

කුමාර මහත්තයා නොහොත් ලුතිනන් කුමාර අධිකරණය මගහැරීම…! නඩු භාණ්ඩයක් වූ සම්පත්ගේ දුරකථන ද අතුරුදහන් වීම……..!

සම්පත් ලක්මාල් ඝාතනයෙන් පසු ඔහුගේ ඝාතනයට සැකපිට ඉහත යුද හමුදාවේ ලුතිනන් කුමාරට චෝදනා එල්ල විය. දෙහිවල පොලීසිය ඔහු සැකකරුවකු ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කළද , ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු එක් දිනක් හෝ නොපැමිණි අතර , ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි යුද හමුදාවේ නීති නිලධාරීන් සෑම නඩු වාරයකම ප්‍රකාශ කළේ ඔහු උතුරේ සක්‍රිය යුද සේවයේ රාජකාරී කරන බැවින් , අධිකරණයට නොපැමිණෙන බවයි. වසර තුනක් තිස්සේ එකම නඩු වාරයකට හෝ ලුතිනන් කුමාර අධිකරණයට ඉදිරිපත් වූයේ නැත. අනතුරුව ඔහු මියගොස් සිටි අවස්ථාවේදී ඇද සිටි කලිසම් සාක්කුවේ තිබී සොයාගත් දුරකථනය ද නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ තිබියදී අතුරුදහන් විය.

වර්ෂ 2009 ජූනි 01 දින මේ ලියුම්කරු පැහැරගෙන යන තෙක් සෑම නඩු වාරයකටම ඒ මව සමග ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට යාමට අමතක නොකලෙමි. තරුණ වියේ පසුවූ සම්පත් ලක්මාල්ගේ නැගණිය අතින් එල්ලා ගෙන ඒ අසරණ අම්මා නඩුවට පැමිණෙන හැම දිනෙකම විත්තිකාර කුමාර මහත්තයාගේ නොපැමිණීම අසා හඩා වැටෙමින් නිවසට යන්නී ය. සෑම උදෑසනකම බෙල්ලන්විල විහාරස්ථානයට යන ඒ බව සහ නැගණිය සම්පත් ලක්මාල්ට ගිය තැනක නපුරක් නොවේවායි පතමින් එහි බෝධියට සුදු මල් මාලයක් පළදා බුදුන් වදී. ඒ අසරණ මවකගේ සහෝදරියකගේ විලාපය ඔවුන් යැදි බුදුන්ට , දෙවියන්ට ඇසුණා දැයි නොදනිමි. පැහැර ගැනීමට ලක්ව මා රෝහල් ගතව සිටින විට වතාවන් කිහිපයක්ම ඇය සිය දියණිය ද අතේ එල්ලා ගෙන මා බලන්නට රෝහලට ආවා ය.

සම්පත් ලක්මාල් පැහැර ගෙන ගියේත් , ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ සාක්ෂි කරුවකුට තර්ජනය කළේත් මේ ශම්මි කුමාරම ද ?

දැනට ලද තොරතුරු අනුව ඒ කුමාර මහත්තයා නොහොත් ලුතිනන් කුමාරත් , එක්නැලිගොඩ නඩුවේ ප්‍රධාන සැකකාර ශම්මි කුමාරත් එක්කෙනෙකි. එසේ නම් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුටත් , ළගින් ඇසුරු කළ අයටත් , අමතකව ඇති සම්පත් ලක්මාල් නිවසටම පැමිණ පැහැර ගෙන ගොස් මරා දැම්ම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි. ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි කරුවන්ට තර්ජනය කිරීමේ චෝදනාව මත දැනට අත්අඩංගුවේ පසුවන විශ්‍රාමික බ්‍රිගේඩියර් ශම්මි කුමාරත් , එදා ලුතිනන් කුමාරත් එක් අයකු නම් යළි විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසු ය. දැනටමත් වළලා දමා ඇති මේ අපරාධයත් යළි විමර්ශන කිරීම ආණ්ඩුසවගකීම යි. ලිපියට අමුණා ඇති ඒ අම්මාගේ පිංතූර දෙකත් ටිකක් ලොකුකර බලන්න.

(පෝද්දල ජයන්ත)

Author

Related Posts