ලොස් ඇන්ජලීස් භීෂණය!

ජිමුත් ඉඳුසර රත්නායක

‘ජාතික ආරක්ෂාව සඳහා ඇති විය හැකි අවදානම’ හේතුවෙන් යැයි පවසමින් ව්‍යාජ අවසරපත් භාවිත කරමින් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කළ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට විරෝධතා රැසක් ඇමෙරිකාව පුරා ආරම්භ වූ අතර, ලොස් ඇන්ජලිස් හී එම විරෝධතා දැඩි මුහුණුවරක් ගනු ලැබුවා. ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් යෙදවීමට පියවර ගැනීමත් සමගයි.

ඇමෙරිකාව තුළ දක්නට නොලැබෙන අන්දමේ බිහිසුණු දර්ශන රැගත් ඡායාරූප සහ වීඩියෝ මේ වන විට හුවමාරු වෙමින් පවතින්නේ එම විරෝධතා ඉතා ආවේගශීලී වීමත් එය මර්දනයට ඉත දැඩි පියවර ගැනීමත් නිසා.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ උණුසුම් තත්ත්වය මේ වන විට තවදුරටත් තීව්‍ර වෙමින් පවතින අතර, සංක්‍රමණිකයින් සොයා කරන ලද වැටලීම්වලට එරෙහි විරෝධතා මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් ආරක්ෂක භටයන්ට අමතරව තවත් ආරක්ෂක භටයින් 2,000ක් යොදවා තිබුණ ද පස් වන දිනටත් අඛණ්ඩව එම විරෝධතා ව්‍යාපාර පැවැත්වෙන ආකාරය වාර්තා වනවා.

මෙම 4000 ක ආරක්ෂක භට පිරිසට අමතරව, ලොස් ඇන්ජලිස් ප්‍රදේශය ආශ්‍රිතව මැරීන් භටයින් 700 දෙනෙකු ස්ථානගත කරමින් සිටින බව ද පෙන්ටගනය තහවුරු කළ අතර, පසුගිය සඳුදා (09) පොලිසිය විරෝධතාකරුවන් ආසන්නයට පැමිණ, ලොස් ඇන්ජලිස් නගරයේ වීදි පුරා විසිරී සිටි ජනකායට රබර් උණ්ඩවලින් වෙඩි තැබීමත් සමඟ දැඩි කෝලහාල තත්ත්වයක් එම ප්‍රදේශය ආශ්‍රිත ව දැකගත හැකි වූවා.

අභ්‍යන්තර නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදයේ හමුදා භටයින් සම්බන්ධ වීම අතිශයින් අසාමාන්‍ය දෙයක් වන අතර, තමන්ගේ අවසරයකින් තොරව ජාතික ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව අධිකරණයට ගොස් ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, මැරීන් භටයින් යෙදවීම සම්බන්ධයෙන් ද අධිකරණයට යන බවට ප්‍රසිද්ධියේ අභියෝග කරනවා.

මේ අතර, ලොස් ඇන්ජලිස්හි නගරාධිපතිනි කරෙන් බාස් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇය පෙන්වා දී ඇත්තේ , “ලොස් ඇන්ජලිස්වල දැන් ඇත්තට ම බියක් තියෙනවා. දෙමාපියන්, කම්කරුවන්, ආච්චිලා සීයලා, තරුණයින් තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්න බය යි” “මේක සංක්‍රමණිකයන්ගේ නගරයක්. වොෂින්ටනය අපේ ජනතාවට, අපේ අසල්වැසි ප්‍රදේශයට සහ අපේ ආර්ථිකයට පහර දෙනවා” යනුවෙනු යි. ඇගේ ඉල්ලීම ට්‍රම්ප් රජය මෙම වැටලීම් නතර කළ යුතු බවයි.

කෙසේ වුවත් නිලධාරීන් “විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමට” උත්සාහ කරන බැවින්, එක රැයක් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත්, නගර මධ්‍යයේ ප්‍රදේශවල දේශීය වේලාවෙන් රාත්‍රී 8 සිට උදෑසන 6 දක්වා මෙම සීමාවන් ක්‍රියාත්මක කරන බවටත් – ඉදිරි දිනවලදී එය නැවත සිදුවනු ඇති බවටත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

එරට ස්වදේශ ආරක්ෂක අංශයේ වාර්තාවලට අනුව මෑතකදී දිනකට අනීතික සංක්‍රමණිකයන් 2,000 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ 2024 දි පැවති දෛනික සාමාන්‍යය සැලකිය යුතු ලෙස ඉක්මවන බව සඳහන් වෙනවා.

මීට සමගාමීව අද වන විට ලොස් ඇන්ජලිස් නගරය හැරුණු කොට ටැම්පා, ෆ්ලොරීඩා, බොස්ටන්, මැසචුසෙට්ස් සහ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ඇතුළු අනෙකුත් නගරවල සංක්‍රමණ වැටලීම් සහ සමූහ පිටුවහල් කිරීම්වලට එරෙහිව ද ඇමෙරිකා එක්සත් ජනපදය පුරා  විරෝධතා ආරම්භ වී තිබෙන බව එරට මාධ්‍ය පවසා සිටියා.

Author

Related Posts