ජිමුත් ඉඳුසර රත්නායක
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15% කින් ඉහළ දැමීමට තීරණය කළ බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත්ගේ සුවිශේෂී සංචාරයට දින කිහිපයකට පෙර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විසින් සිදුකළ මෙම මිළ වැඩි කිරීම අහම්බයක් නොවන්නේ, ශ්‍රී ලංකාව සමඟ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ IMF හි කේන්ද්‍රීය ඉල්ලීම්වලින් එකක් ලෙස විදුලිය මිල පාලනය පැවතීම හේතුවෙනුයි. මෙහිදී කොළඹ නගරයේ විදුලි පිරිවැය හා එහි මූල්‍ය පාලන විනය අතිශයින් ම තීරණාත්මක සාධකයක් බවට පත්වනවා.
ජුනි 15-16 දක්වා පැවැත්වීමට නියමිත ආචාර්ය ගෝපිනාත්ගේ සංචාරය, 2005 වසරෙන් පසු IMF හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ප්‍රථම අවස්ථාව වන අතර ඇය විසින් ඒම සංචාරයේ දී රජයේ වගකිවයුතු මූල්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටත්, මුදල් අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) මෙන්ම IMF විසින් ම සම-සත්කාරකත්වය දරන ” Sri Lanka’s Road to Recovery: Debt and Governance ” යන සමුළුවට සහභාගී වීමට අපේක්ෂා කරනවා.
ඇයගේ පැමිණීමත් සමඟ මහජන උපයෝගීතා කොමිසම විසින් සිදු කරන ලද ඉහත විදුලි ගාස්තු ඉහළ නැංවීම මෙරට සමස්ත පුරවැසි ප්‍රජාව ගේ සාමාන්‍ය ජන ජීවිතය විෂයේ දැඩි බලපෑමක් එල්ල කරනු ලබන අතර මෙම මිළ වැඩි වීමට සමගාමීව භාණ්ඩ පිරිවැය ඉහළ යාම හරහා මෙම තත්ත්වය දෙගුණ තෙගුණ විය හැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. නමුත් එවැනි තත්ත්වයන් නො සලකා හරිමින් විදුලි බල මණ්ඩලය විසින් 18.3% ක ප්‍රතිශතයකින් මිළ වැඩි කළ යුතු බව දැක් වූ අතර අද මහජන උපයෝගීතා කොමිසම 15 % කින් ඒම මිළ තත්ත්වය ඉහළ යන බව නිවේදනය කරනු ලැබුවා.
තාක්ෂණික ගැලපීමක් පමණක් නොවන රටේ සමාජ දේශපාලනයට ඍජුව බලපෑම් එල්ල කරනු ලබන මෙම මිල වැඩි කිරීම රට තුළ පැන නැගුණු ආර්ථික අර්බුද හේතුවෙන් IMF හමුවේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුත ම ගැටලුවක් පිළිබඳ අපට ඉඟි කරනවා.
මෙම විදුලි ගාස්තු පිරිවැය සම්බන්ධ කතිකාවත දේශපාලනික වශයෙන් ගොඩනැගුණු දැවැන්ත අර්බුදයක් බවට පත්වූයේ කෙසේ ද ? යන ප්‍රශ්නය පිළිබඳ ව සාකච්ඡා කිරීමේ දී , 2016 යහපාලන රජය යටතේ ඩොලර් බිලියන 1.5 ක විස්තීර්ණ අරමුදලක් සඳහා (EFF) ශ්‍රී ලංකාව ඇතළත් වූ අවස්ථාවේ, IMF ඉන්ධන සහ විදුලිය සඳහා ස්වයංක්‍රීය මිල සූත්‍රයක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටි මොහොත අමතක කරන්නට බැහැ. මේ යෝජනාව අනුව යමින් යහපාලන රජය 2018 දී ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන්නත් ඒ වැඩපිළිවෙළ දේශපාලනික වශයෙන් හා මහජනතාවගෙන් පැමිණි දැඩි විරෝධය සමඟ මෙම ප්‍රතිසංස්කරණ නිරන්තරයෙන් ම ප්‍රමාද වීම දිගින් දිගට ම සිදුවුණා.
නැවත 2019 බල පෙරළියෙන් අනතුරුව, 2020 වන විට, රාජපක්ෂ පරිපාලනය යටතේ, IMF වැඩසටහන අතහැර දැමූ අතර, මිල ගණන් නැවතත් දේශපාලන වුවමණාවන්ට අනුව පාලනය කිරීම ආරම්භ වුණා. මේ නිසා ම විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන දැවැන්ත පාඩු විඳිමින් ක්‍රියාත්මක වුණා. 2022 දී මේ අත්තනෝමතික වැඩ පිළිවෙත් හරහා ශ්‍රී ලංකාව දරුණු මූල්‍ය අර්බුදයකට ඇද වැටීමත් සමඟ විදේශ සංචිත ක්ෂය වීම ආරම්භ වීම සිදුවීමත් මූලික සේවාවන් බිඳවැටීමත් නිරන්තරයෙන් ම සිදුවුණා.
නැවත රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ 2023 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හැරීමෙන් පසුව, IMF ඩොලර් බිලියන 2.9 ක ඇපකරයක් අනුමත කිරීමත් සමඟ ගිවිසුමට අනුකූලව කාර්තු අනුව විදුලි ගාස්තු ගැලපීම් ස්ථාපනය කිරීමත්, PUCSL වැනි නියාමන ආයතන ශක්තිමත් කිරීම හරහා සැබෑ නිෂ්පාදන සහ බෙදාහැරීමේ පිරිවැය පිළිබිඹු කරන මිල සූත්‍ර නැවත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමත් අන්තර්ගත වුණා.
නැවත නවරජය බලයට පත්වීමත් සමඟ 2025 මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු අඩු කරමින් සිදු කළ ප්‍රතිසංස්කරණ හමුවේ විදුලි බල මණ්ඩලය නැවත පාඩු ලැබීම ආරම්භ වීමත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ව්‍යුහාත්මක මිනුම් ලකුණක් උල්ලංඝණය කර ඇති බව හා ඊළඟ සමාලෝචනය සමත් වීමට විදුලි බල මණ්ඩලය ලබන පාඩු වළක්වා ගැනීම ප්‍රධාන අවශ්‍යතාවක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කර තිබීමත් හේතුවෙන් මෙවර 2025 දෙවන අර්ධය සඳහා මෙලෙස විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුකරන බව අපට පැහැදිලි වන අතර මෙරට දේශපාලඥයන්ගේ අත්තනෝමතික දේශපාලන තීරණ හමුවේ නිරන්තරයෙන් ම පීඩාවට පත්ව සිටිනුයේ අන් කවරෙකුත් නොව මහජනතාව බව සක්සුදක් සේ පැහැදිලි වනවා.
2023 පෙබරවාරි මාසයේ 66% ක වැඩිවීමක් හා ඔක්තෝබර් මාසයේදී 18% ක වැඩිවීමක් මින් පෙර දී සිදු වූ අතර, එය සැලකිය යුතු ලෙස අඩුම ගෘහස්ථ කාණ්ඩය රු. 150 සිට රු. 180 දක්වා දක්වා ඉහළ නැංවූ බවත්, නොවැම්බර් සහ දෙසැම්බර් වන විට, ගෙවීම් නොකිරීම හේතුවෙන් නිවාස 145,000 කට වඩා විසන්ධි කළ බවත් වාර්තා වී තිබුණා.
2023 දී පමණක්, නිවාස මිලියන 1.06 කට වඩා , එනම් ශ්‍රී ලංකාවේ මිලියන 7 ක පාරිභෝගිකයින්ගෙන් දළ වශයෙන් 15% ක් – යම් අවස්ථාවක දී විදුලිය විසන්ධි කිරීම්වලට මුහුණ දුන් බව විදුලි බල මණ්ඩලයේ දත්ත මඟින් පෙන්වා දෙනු ලබනවා. එම කාලවකවානුවේ දී ම ස්ථාවර ගාස්තු සහ සම්බන්ධතා ගාස්තු ද සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමත් සමඟ පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවකට දැඩි ලෙස පහර වැදුණු අතර එවක – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මෙම මිළ ඉහළ නැංවීම් ආරක්ෂා කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවට මෙම පිරිවැය සමඟ මිල ගණන් පෙළගැස්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව යි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය උපයෝගිතා ප්‍රතිසංස්කරණය අත්‍යවශ්‍ය බව IMF පැවසීමත් සමඟ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා මග පෑදීමට, දූෂණය අඩු කිරීමට සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට යැයි පවසමින් විදුලි බල මණ්ඩලය විසුරුවා හැරීමට දැන් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතීන අතර බොහෝ දුරට පෞද්ගලීකරණයට ලක්වීමේ ඉඩක් පවතින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනු ලබනවා.
මෙවැනි තත්ත්වයක් තුළ ගිලී ඇති ප්‍රපාතයක අගට වී සිටින ශ්‍රී ලංකාව වෙත ආචාර්ය ගීතා ගෝපිනාත් මෙම සති අන්තයේ ගොඩ බසින බව රහසක් නොවන අතර නෙළුම් කුළුණ දෙස බලා සිටින විදුලි බිල ගෙවා ගත නො හැකි දහසක් දෙනාගේ වේදනාව හා කඳුළු මතින් දේශපාලනික ව අතරමං වුණු කොළඹ නගරය හරහා ගෝපිනාත් සතුටින් ගමන් කරනු ඇතැ යි අපි සිතනවා
