UBER PickMe දුවන අයටත් කම්කරු අයිතිවාසිකම්…

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 113 වන ජාත්‍යන්තර කම්කරු සමුළුව (ILC) මේ දින වල ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ. මෙවර මෙහිදී සුවිශේෂී අවධානයක් ලබා දුන් කම්කරු ප්‍රජාවක් ලෙස Uber, PickMe, Kangaroo වැනි App සහ ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ තම සේවය සපයන සේවකයින් හැඳින්විය හැකිය.

වැඩ ලෝකයේ ඩිජිටල්කරණය මගින් ඇති කරන ලද වෙනස්කම්වල නිශ්චිත ලෙසම හඳුනාගත හැකි එකක් වන්නේ වේදිකා ආර්ථිකයයි (Platform Economy). මෙය ගිග් ආර්ථිකය (GIG Economy) ලෙසද, මේවායේ සේවය කරන්නන් ගිග් සේවකයින් (GIG workers) ලෙසද හඳුන්වයි.  මෙම ආර්ථිකයේ වර්ධනය, ව්‍යාපාර සඳහා නව වෙළඳපොළවල් විවෘත කර ඇති අතර නව රැකියා සහ ආදායම් අවස්ථා නිර්මාණය කර ඇත.  ඒ අනුව වේදිකා ආර්ථිකය පුද්ගල ජිවිතයේ වැඩ කලමනාකරණය කරන ක්‍රමයක් ලෙස, ප්‍රවාහන මාදිලියක් ලෙස සහ තම භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කරන ආකාරයක් ලෙස සමාජ පුද්ගල කාර්යයන් සැලකිය යුතු පරිවර්තනය කරමින් සිටී. නමුත් මේ කාර්යයන්හි ගාමක බලවේගය වන සේවකයින්ට තම බලාපොරොත්තු ඉටු කර ගැනීම සඳහා මේ රැකියා තුළින් හැකියාව ඇති බව සහතික කිරීමේදී අභියෝග සහ ගැටළු රැසක් දක්නට ලැබේ.

113 වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී, වේදිකා ආර්ථිකයේ  නව ප්‍රමිතීන් පිළිබඳ පළමු සාකච්ඡාව සාමාජික රටවල් විසින් දියත් කරන ලද අතර, විශේෂඥ රැස්වීම්, නීතිමය පරතරය විශ්ලේෂණයන් සහ ගෝලීය උපදේශන (2022–2025) මත පදනම්ව, වේදිකා සේවකයින් ආරක්ෂා කරන සම්මුතියක් සහ නිර්දේශයක් කෙටුම්පත් කිරීම සඳහා ප්‍රවේශයක් ගන්නා ලදී.

රැකියා ලෝකය වෙනස් වෙමින් පවතින අතර වේදිකා රැකියා (Platform Jobs) මෙම පරිවර්තනයේ සැලකිය යුතු ධාවකයක් බව මෙවර සමුළුවේදී ප්‍රකාශ විය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය වසර ගණනාවක් තිස්සේ මෙම රැකියාවල නියුතු ශ්‍රමිකයන් පිළිබඳව අවධානය යොමු කර තිබුණද නිල ලෙස ජාත්‍යන්තර සමුළුවේදී ප්‍රථම වරට Platform Economy තුළ යහපත් වැඩ එසේත් නැත්නම් සුනිසි රැකියා (Decent Work) පිළිබඳව සාකච්ඡා කරමින් සිටී. මෙහි සුනිසි රැකියා යනුවෙන් අදහස් කරන්නේ, එම රැකියාව සිදු කිරීම මගින් පුද්ගලයෙකුට තම අපේක්ෂාවන් කරා ළඟා විය හැකි රැකියාවක් යන්නයි.

මේ සාකච්ඡා වලින් අනතුරුව මෙම රැකියාවල නිරත වන්නන්ට සුවිශේෂී වූ සහ ගෝලීයව පිළිගන්නා ILO ප්‍රඥප්තියක් සම්මත වනු ඇති අතර එය මෙම රැකියාව අවිධිමත් රැකියා අංශයේ සිට විධිමත් රැකියා අංශය වෙත තල්ලු කරනු ඇත. එනම් කම්කරු අයිතිවාසිකම් හිමි, යහපත් රැකියා කොන්දේසි සහිත, විශ්‍රාම වැටුප් සමාජ ආරක්ෂණ හිමි Uber Pick Me වැනි රියදුරන්, අහාර සහ භාණ්ඩ බෙදා හරි හරින සේවක පිරිසක් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකිය. නමුත් දැනට ඔවුන් සිටින්නේ අවිධිමත් අංශය යටතට වැටෙන  කිසිදු වරප්‍රසාදයක් නොමැති පිරිසක් ලෙසය.

එක්සත් රාජධානියේ, Uber රියදුරන් “කම්කරුවන්” ලෙස පිළිගෙන ඇති අතර 2021 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව අවම වැටුප, නිවාඩු සහ විශ්‍රාම වැටුප් දායක මුදල් වැනි ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්වලට ඔවුන් හිමිකම් ලබයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන් තවදුරටත් ස්වයං රැකියාලාභීන් ලෙස නොසැලකෙන අතර, ඔවුන්ට මෙම ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා Uber ආයතනය වගකිව යුතු බවයි. නමුත් ලංකාවේ මෙම ශ්‍රමිකයන් ස්වයන් රැකියා කරන්නන් ලෙස හැඳින්වීමට ආයතන හිමිකරුවන් සහ කම්කරු දෙපාර්තමේන්තුව පවා කටයුතු කරයි. ශ්‍රී ලංකාවේද මේ සම්බන්ධයෙන් සමිති වෘත්තීය සමිති කිහිපයක් ඉල්ලීම් කරමින් සිටින අතර මෙවර මැයි දිනයේදී ඔවුන් කැපී පෙනෙන විරෝධතාවයක් දැක්වීය.

මේ සමුළුව සඳහා රජය නියෝජනය කරමින් ගිය කම්කරු කොමසාරිස් ජනරාල් තුමිය ඇතුළු පිරිසද Platform Economy සහ වේදිකා සේවකයින් පිළිබඳව ගෝලීය දැනුම හොඳින් අධ්‍යනය කර පැමිණිය යුතුය. මක් නිසාද PickMe සහ Uber රියදුරන් වෘත්තීය සමිතියක් ලියාපදිංචි කරන්න ගිය විට ඔවුන් සේවකයින් ගණයට වැටෙන්නේ නැති පවසමින් ලියාපදිංචිය ප්‍රතික්ෂේප කල කම්කරු දෙපාර්තමේන්තුවක් ශ්‍රී ලංකාවේ පවතින බැවිණි.

මතු සම්බන්ධයි.

   

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading