ග්‍රෙටා තර්න්බර්ග් ඇතුළු 12 දෙනෙකුගේ පලස්තීනය දක්වා, මරණීය ගමන!

ජිමුත් ඉඳුසර රත්නායක

ඊශ්‍රායල් ඩ්‍රෝන යාත්‍රා ඔවුන් වටා වරින් වර සැරිසරනවා. ඔවුන් නිරායුධයි. අතිශයින් අනාරක්ෂිතයි. ඔවුන්ට ඇති එකම ආරක්ෂාව මුළු ලෝකයම ඔවුන් දෙස බලා සිටීම පමණයි. පලස්තීනයේ ගාසා තීරය පණ අදිමින් සිටියදී නිරාහාරව බැට කන අහිංසක සිවිල් වැසියන්ට ආහාර පවා ලබා දීම ඊශ්‍රායලය මැඬ පවත්වා තිබියදී අපගේ කතා නායක නායිකාවන් 12 දෙනා කිසිදු ආයුධයක් නැතිව මේ කරන්නේ ලෝකය වෙනස් කිරීමයි. මුළු ලෝකයේම අවධානය සැබෑ වීරත්වය දෙසට යොමු කිරීමයි. අයන් ඩෝම්, බරැති අවි ආයුධ සහ තාක්ෂණයෙන් යුක්තව දුර්වලයන්ට පහර පිට පහර එල්ලකරමින් මිනීමැරීම යුධ වීරත්වයක් ලෙස අධිනිශ්චය වුණ කාලයක ඔවුන් මේ ගමන් කරමින් ඉන්නේ සැබෑ වීරත්වය යනු දුර්වලයාට පහර දීම නොව, ජීවිත අවදානමේ හෙළාගෙන වුව දුර්වලයා වෙනුවෙන් පෙනී සිටීම බව.

දුසිම් ගණනින් බඩගින්නේ මිය යන කුඩා දරුවන් සහ මිලියන 2.9 ක් වූ ජනතාවගෙන් 90 % ක් පමණ උග්‍ර ආහාර හිඟයෙන් බැටකන පලස්තීන නිරායුධ අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් යාත්‍රා කරන “මැඩ්ලීන්” නෞකාව ජුනි 07 වන දා ගාසා තීරයට ඇතුල් වීමට සැලසුම් කරනවා.

පසුගිය මාර්තු 02 වෙනි දා සිට මේ දක්වාම පලස්තීනය වෙත මානුෂීය ආධාර සැපයීම සම්පූර්ණයෙන් ම නවත්වා මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන ඊශ්‍රායලයට එරෙහිව යාත්‍රා කරන මේ නෞකාව, ස්වීඩනයේ ග්‍රේටා තර්න්බර්ග් මූලික කොටගත් 12 දෙනෙකුගෙන් යුක්ත වෙනවා. ඒ අතරට ගාසාවේ තත්ත්වය “ජන සංහාරයක්” විදිහට ප්‍රසිද්ධියේ විවේචනය කළ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ ඩාවෝස් චරිතය හරහා අපට සමීප වුණු ලියෑම් කනිංහැම් වගේ ම ඊශ්‍රායලයේ ආක්‍රමණ පිළිබඳ විවෘත කතිකාවතක් ඇති කළ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී රීටා හසන් දෙදෙනාත් ඇතුළත් වෙනවා. 

“මේ ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදය පිළිබඳ ජාත්‍යන්තරය දැනුවත් කිරීම සහ නිරායුධ පලස්තීන වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර රැගෙන එන කණ්ඩායම් දිරිමත් කිරීම තමයි අපේ අරමුණ” යනුවෙන් මාධ්‍යය ඉදිරියේ ප්‍රකාශයක් කළ ග්‍රේටා, දකුණු ඉතාලියේ – කැටානියාවේ, සිසිලියන් වරායෙන් පසුගිය ජුනි 01 වෙනිදා “මැඩ්ලීන්” යාත්‍රාව දියත් වීමට පෙර ඇඬූ කඳුලින් යුතු ව තවදුරටත් සඳහන් කළේ, අපි මේ කටයුත්‍ත සිදු කරන්නේ අපිට මොන විදිහේ හානි වුණත්, අපි දිගින් දිගටම උත්සාහ කළ යුතු නිසා” බව සහ  “අපි උත්සාහ කිරීම නවත්වන මොහොතේ ම අපේ මනුෂ්‍යත්වය නැතිවෙනවා. මේ ගමන මොනතරම් භයානක වුණත් ජන සංහාරයක් සජීවීව විකාශය වෙනකොටත් ඇස් කන් පියාගෙන ඉන්න ලෝකය තරම් භයානක නැති බව” යි.

මෝල්ටාවේ වෙරළට ඔබ්බේ මෙවැනිම යාත්‍රාවක් වුණු “Conscience” නෞකාවට ඊශ්‍රයල ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් හරියට ම මාසයක් ගිය තැන දී,  තම ගමන දියත් කරන “මැඩ්ලීන්”  දින 07 ක් මුළුල්ලේ කිලෝමීටර් 2000 ක ගමනාන්තයක් කරා යන මේ ගමනේ භයානක බව අපිට මානුෂිකත්වය පිළිබඳ නැවත සිතා බැලීම සඳහා අවස්ථාවක් සලසා දෙනවා.

මෙතෙක් දවසක් පලස්තීනයට සහයෝගය දක්වමින් තම තමන්ගේ නගරවල, තම තමන්ගේ  නිවෙස්වල සිට විරෝධය දැක්වූ ලෝකප්‍රජාවට ග්‍රෙටා ඇතුළු පිරිස සැබෑ වීරත්වය පෙන්වාදෙනවා. දැන් ඊශ්‍රායලය හමුවේ ඇති ප්‍රශ්නය ලොවම බලා සිටියදී මේ 12 දෙනාව ඝාතනය කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවාද යන්නයි.

අවස්ථා කිහිපයකදී නෞකාවේ සිට එහි සජීවී දර්ශන සමාජ මාධ්‍යයට මුදා හරිමින් ග්‍රේටා ඇතුලු කණ්ඩායම ඒ මොහොත වන විට ඩ්‍රෝන් යානා කිහිපයක් තමන්ට ඉහළ අහසේ ඔවුන්ව නිරීක්ෂණයේ යෙදෙන බව වගේ ම තමන් ආරක්ෂක කබා පැලඳ ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත් ඔවුන් නිර්භයව ප්‍රකාශ කළා.  අවසාන වශයෙන් ඔවුන් පලස්තීනය වෙනුවෙන් හඬ නගන ලොව පුරා විසීරී පවතින පලස්තීන සහයෝගිතා සංවිධාන සඳහා තමන්ගේ නිහඬ ප්‍රතිපත්තිය බිඳ දමන්නැයි ආයාචනය කරන්නත් අමතක කළේ නැහැ.

ලෝකයේ ම මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ අවධානය දිනා ගනු ලැබූ Freedom Flotilla Coalition සංවිධානය විසින් දියත් කළ මේ නෞකාව ගාසා තීරයේ පළමු සහ එකම ධීවර කාන්තාව වන මැඩ්ලීන් වෙනුවෙන් නම් කර තිබීම විශේෂයෙන් ම මතක් කළ යුතු කරුණක්.

මීට අමතරව  ඊජිප්තුවේ කයිරෝ නුවර සිට ගාසා තීරයේ රෆා පිවිසුම දක්වා  ගාසාව වෙනුවෙන් ගෝලීය පා ගමනක් #MarchToGaza නමින් ජූනි මස 15 වන දා සිට ආරම්භ කිරීමටත් ලොව වටා දහස් ගණනකින් සමන්විත පිරිසක් මේ වනවිට සංවිධානය වෙමින් සිටිනවා. ඔවුන්ගේ අරමුණ මෙම පාගමන හරහා ගාසා තීරයේ දේශසීමාවලට ළඟා වෙමින් සහ ඒ ආසන්නයේ කඳවුරු බඳිමින් ඊශ්‍රායලය විසින් නවතා දමා ඇති ගාසා තීරය වෙත මානුෂීය ආධාර ලබාදීමේ කටයුතු නැවත ප්‍රතිසංවිධානය කිරීම සහ ඒ සඳහා මැදිහත් වීම බව එම සංවිධාන ප්‍රකාශ කළා.

ලෝකය යුද්ධවලින් වැනසෙද්දී, මනුෂ්‍යත්වය ගැන බලාපොරොත්තු බිඳවැටෙද්දී යුධ බිමකට නිරායුධව පා නගන්නට තරම් නිර්භීත වෙන මිනිසුන් මනුෂ්‍යත්වය ගැන නව බලාපොරොත්තුවක් ලෝකය තුළ ගොඩ නගනවා.

තමන්ගේ ජාතිය රැකගැනීම හෝ ලෝකය රැකගැනීම හෝ මනුෂ්‍ය වර්ගයා රැකගැනීම වැනි විවිධ දෑ කියමින් ජනඝාතන කරන ලෝකය පාලනය කරන බලවතුන්ට, ඇත්තටම රැකගත යුත්තේ අපගේ මනුෂ්‍යත්වය බව #MarchToGaza ව්‍යාපාරය පෙන්වා දෙනවා. අන්තිමේ ගත්තාම ඊශ්‍රායලය පරදිනවා නම් පරදිනු ඇත්තේ හමාස් සංවිධානය සතු අවිආයුධවලින් නොවෙයි. පරදිනු ඇත්තේ මේ නිරායුධ මිනිසුන්ගේ වීරත්වයටයි.

Author

Related Posts