EPF සටනේදී පොලීසිය විසින් රොෂේන් චානක මරා දමා අදට වසර 14ක්…

2011 වසරේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් කම්කරුවන්ගේ සේවක අර්ථ සාධක EPF අරමුදල කප්පාදු කර වෙනත් විශ්‍රාම වැටුප් යෝජනාවක් ගෙන ලදී. මෙය අර්ථ සාධක අරමුදල කොල්ලකෑමට ගන්නා උත්සාහයක් බව පවසමින් රට පුරා කම්කරුවන් විරෝධතා පැවැත්වූ අතර ආණ්ඩුව ඊට මර්දනය මුදා හැරීම හැර තීරණය හකුලා ගත්තේ නැත.

සටන් තීව්‍ර කරමින් 2011 මැයි 30 දින කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් අරගලයක් ආරම්භ කරන ලදී. එය එවකට උද්දච්ච රාජපක්ෂ පාලනයට දැඩි අභ්යෝගකාරි එකක් විය. මෙම සටන මැඩ පැවැත්වීම සඳහා රාජපක්ෂලාගේ සුපුරුදු මර්දන යාන්ත්‍රණය වන ආණ්ඩුවේ නිල මැරයන් යොදවා බැනර් සහ සටන් පුවරු පමණක් අතැතිව පැමිණි නිරායුධ කම්කරුවන්ට පහර දෙන ලදී. ආණ්ඩුවේ පොලීසිය සිදු කළ වෙඩි තැබීම් සහ පහර දීම් වලින් කම්කරුවන් 400 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. එම වෙඩි වැදුණු තුවාල කරුවන් අතුරින් එක් රොෂේන් චානක ය.

පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රෝහල් ගත කල ඔහු දින දෙකකට පසුව මිය ගිය අතර එම මිනිස් බිල්ලෙන් පසුව රාජපක්ෂ ආණ්ඩුව අඩියක් පසු පසට ගොස් යෝජනාව තාවකාලිකව හකුළා ගන්නා ලදී.

කම්කරුවන්ට තමන්ගේ ජිවිත කාලයම දියකර ජිවිතයේ අවසාන සාමය ගෙවා දැමීමට ඉතුරු වන මුදල වන EPF අරමුදලේ මුදල් ආරක්ෂා කර ගැනීමට ජීවිතය පූජා කිරීමට සිදු වීම ඛේදවාචකයකි. මේවා වෙඩි වැදී සිදු වූ මරණ නොව රජයේ නිල මැරයන් විසින් වෙඩි තබා සිදු කළ ඝාතනයන්ය. මේවාට යුක්තිය ඉටු වන තුරු රෝෂේන්ගේ අම්මා වැනි තවත් මව්වරුන් තවමත් සුසුම්ලමින් සිටී.

මේවා නැවත නොවීමට සහ කම්කරුවන්ට යහපත් රැකියා කොන්දේසි වෙනුවෙන් NPP කම්කරු හිතවාදී ආණ්ඩුව කම්කරුවන් විසින් පත් කරගෙන ඇත. අනුර කුමාර දිසානායක ආණ්ඩුව අය වැය සහන දීමනාව අහෝසි කිරීම වැනි සේවකයාට හිමි සොච්චමෙන් කොටසක් කපා දැමීම වැනි ජාතික තීන්දු ගන්නේ නම් තවත් කලාපේ රොෂේන් ලා, හලාවත ඇන්ටනීලා මේ රට තුළ සිටිනා බව මතක තබා ගත යුතුය.

Author

Related Posts