GSP+ අවදානමක! හේතුව ත්‍රස්ත පනතයි ඔන්ලයින් පනතයි! නොලැබුණොත් රට අනතුරේ!

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට යුරෝපා සංගමයේ සහනදායී තීරුබදු ක්‍රමය (GSP+) දීර්ඝ නොකළහොත් තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී තිබෙනවා. මේ මස අගදී පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

“යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළවලින් එකක් වන අතර විශේෂයෙන් ඇඟලුම් සඳහා එය ඉතා වැදගත් වෙනවා. GSP+ සහනය ශ්‍රී ලංකාවට අහිමි වුවහොත්, දැනටමත් එක්සත් ජනපදයේ නව වෙළෙඳ ප්‍රතිපත්තියෙන් බලපෑමට ලක්ව ඇති ඇඟලුම් කර්මාන්තයට එය තවත් පහරක් වනු ඇති,” යනුවෙන් අරුත පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා ආර්ථික විද්‍යාඥ රෙහානා තව්ෆීක් EconomyNext වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවකදී පෙන්වා දී තිබෙනවා.

“GSP+ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා යුරෝපා සංගමයේ වෙළෙඳපොළට තීරුබදු රහිතව යොමු කිරීමට හැකි වෙනවා. එමඟින් අපගේ නිෂ්පාදන යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළ ඉතා තරගකාරී වනු ඇති.” යනුවෙන් තව්ෆීක් මහත්මිය පවසා තිබුණා.

යුරෝපා සංගමයේ GSP+ සහන ක්‍රමය සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් මේ මස සමාලෝචනයට ලක්වීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත රට තුළ භාවිත කිරීම මෙම සහනය දීර්ඝ නොකිරීමට ඉඩ ඇති ප්‍රධාන හේතු ලෙස විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාව මානව හිමිකම්, ශ්‍රම අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කළ යුතුයි.

යුරෝපා සංගමය ඇමෙරිකාව හැරුණු විට ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 1,523.13 කට අධික ආදායමක් උපයා දෙනවා.

වසර 30ක සිවිල් යුද්ධය අවසන් වී වසරකට පසු 2010 දී ශ්‍රී ලංකාවේ GSP+ සහනය තාවකාලිකව අත්හිටවූවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් මෙන්ම දූෂණ චෝදනා එම සහනය අහිමි කිරීමට හේතු ලෙස පෙන්වා දී තිබුණා. 2017 දී GSP+ තත්ත්වය නැවත ලබා දුන්නා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading