තරිඳු උඩුවරගෙදර
තමන්ගේ කාලයේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කරමින් ශ්‍රී ලංකාව විශාල ණය අර්බුදයක සිර කිරීම සම්බන්ධනේ ඇති විවේචන ප්‍රතික්ෂේප කිරීමට පසුගියදා හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කළේය.
එහිදී 2019 දී අයිඑම්එෆ් වැඩසටහන වෙනුවෙන් ඩොලර් බිලියන 4ක පමණ ස්වෛරීත්ව බැඳුම්කර කන්දක් ණය ගැනීමත්, ලංකාවේ බැඳුම්කර ණය කන්ද තුන් ගුණයකින් වැඩි කිරීමත් ඇතුළු සියලු ක්‍රියාවන් අමු අමුවේ පිළිගනිමින් ඔහු එය ‘රටේ හොඳට‘ කළ දෙයක් ලෙස අර්ථකතනය කිරීමට උත්සාහ කර තිබුණි.
2016 දී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අපකීර්තිමත් ලෙස සේවයෙන් ඉවත් වූ පසු 2016 ජුලි මාසයේ සිට 2019 අග දක්වා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය.
තමන්ගේ කාලයේ අධික පොළියට ණය ගනිමින් විශාල ණය අර්බුදයක තව තවත් ශ්‍රී ලංකාව හිර කිරීම ඔහු සාධාරණීකරණය කළේ, තමන් ණය ගත්තේ කලින් ණය අර්බුදවලින් රට බේරාගන්නටයැයි කියමිනි.
කිසිදු වගකීමක් නොමැතිව, ලංකාව විනාශ කළ මාවතක රට ගෙනගිය මේ නිලධාරියා ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වැනි සංවස්තරය සැමරීම උදෙසා පැවති උත්සවයකදී මතුව තිබෙන අදහසකට ප්‍රතිචාර දක්වමින් මෙසේ කියා තිබුණි.
2015 සිට 2019 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5ක සිට ඩොලර් බිලියන 15 දක්වා වැඩි විය. ශ්‍රී ලංකාව 2022 මුලදී බංකොළොත්භායට පත් වුණේ ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවීමට කටයුතු කළ අවස්ථාවේය. ඊට පෙර රාජපක්ෂ ඇතුළු අනෙකුත් පාලකයන්ගේ කාලසීමාවන්හිදී දූෂිත ව්‍යාපෘති වෙනුවෙන් මෙන්ම ඵලදායී නොවන ව්‍යාපෘති වෙනුවෙන් ණය පිට ණය ගැනීමත් ඒවායින් කිසිදු ඵලදායී ප්‍රතිඵලයක් නොලැබීමත් සත්‍යයක් විය.
එහෙත්, එම අර්බුදයෙන් රට බේරාගැනීමට නම් ණයවලින් සිදු කළ වංචා දූෂණ ගැන විමර්ශන කොට රටින් පිටමං කළ ධනය නැවත ගෙන්වාගෙන, ගත් ණය විගණනය කොට පියවර ගත යුතුව තිබුණි. එමෙන්ම, මීට පෙර 2008 සිට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු අය කියා තිබුණු කාරණයක් වන්නේ දූෂණය උදෙසා සහ අත්තනෝමතික ලෙස ගත් ණය ගෙවීමට තමන් බැඳී නොසිටින බවත් ශ්‍රී ලංකා රජයට ණය දෙන පාර්ශ්ව වෙත අනතුරු හඟවා තිබුණි. රනිල් එච්එස්බීසී ඇතුළු බැංකු කිහිපයකට ඍජුව අනතුරු හඟවා තිබුණු අතර, ඒ ගැන එවකට මෙරට තානාපතිවරය කේබල් පණිවිඩයක් යැවූ බව විකිලීක්ස් වෙබ් අඩවියෙන් හෙළිදරව් විය.
එවැනි පසුබිමක ඉන්ද්‍රජිත් කුමාරස්වාමිලා, රනිල් වික්‍රමසිංහලා කළේ දූෂිත ලෙස සහ ජනතාවට ප්‍රයෝජනයක් නොලැබෙන ලෙස ගත් ණය ගෙවීම වෙනුවෙන් යැයි කියමින් තව තවත් ණය ගැනීමය. රට පවත්වාගෙන යෑමට යැයි කියමින් තව තවත් ණය ගැනීමය. එය බුද්ධිමත් තීරණයක් නොවන බව ඉතිහාසය ඔප්පු කර හමාරය. කුමාරස්වාමිලා තවමත් ඇවිත් ඒ තීන්දු සාධාරණීකරණය කරමින් සිටී.
නව රජයක් යටතේ ප්‍රතිපත්ති වෙනස් වීමේ අවදානමට එරෙහිව ‘ආරක්ෂිත පියවරක්’ ලෙස එය විස්තර කළේය. නව රජයක් IMF වැඩසටහනෙන් ඉවත් වී ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශය අහිමි වනු ඇතැයි ඔහු බිය විය.
ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉවත් වේයැයි දැඩි බියක් දැක්වීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ලංකාව කල් තියා ණය උගුලක සිර කර තැබීමත් ඔහු ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත.
“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රජය වෙනස් වන බව පැහැදිලි වුණා. IMF වැඩසටහනෙන් ඉවත් වීමේ හැකියාව ඇතුළුව ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් සිදුවෙතැයි අපි අනුමාන කළා.‘ යනුවෙන් ඔහු කියා තිබුණි
වෙරිටේ රිසර්ච් ආයතනය කළ අධ්‍යනයකදී 2015- 2019 කාලසීමාවේ ගත් ණයවලින් සීයට 89ක් කලින් ගත් ණය යළි ගෙවීමට වියදම් කළ බව පිළිගත්තේය. ඔහු ඒ වාර්තාව යළි සිහිපත් කර තිබුණි.
ණය ගෙවීමට ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් වැය කළ බව සත්‍යයක් වන නමුත්, එය අමනෝඥ ප්‍රතිපත්තිමය තීන්දුවක් බව ඔහු පිළිගත්තේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේම උපදෙස් සහ වුවමනා මත, එම වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණෙන් තව තවත් ණය ගත් බව ඔහුගේ ප්‍රකාශයන් තුළින් පැහැදිලිව පෙනී යයි.
ඔහු ප්‍රසිද්ධියේ කියා තිබුණේ එම ණය ගත්තේ නැති නම් ශ්‍රී ලංකාව මීට බොහෝ කාලයකට පෙර බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමට සිදුවනු ඇති බවයි. එහෙත් ඔහු සඟවා සිටින සරල කාරණය වන්නේ ඒ මොහොතේ අප බංකෙළොත්භාවය ප්‍රකාශ කොට, ගෙවීමට නොහැකි ණය කප්පාදු කරගැනීමට මෙන්ම දූෂිත ක්‍රියාවලට ගත් ණය ජනතාවගේ බදු මුදලින් නොගෙවා සිටීමට අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ පියවර ගත්තේ නම් අද සිටින ණය අර්බුදයට වඩා අඩු අවදානමකින් අපට ණය අර්බුදය විසඳාගැනිමට හැකියාවක් තිබුණු බවයි.
